මහජන බැංකුවේ නව සභාපති චන්දන ගුණියන්ගොඩ වැඩ භාරගනී
මහජන බැංකුවේ නව සභාපති ලෙස වන්දන ගුණියන්ගොඩ මහතා විසින්, අගෝස්තු 25 වැනි දින කොළඹ 02, මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී නිල වශයෙන් වැඩ භාරගන්නා ලදී.මෙ
මෙම අවස්ථාවට මහජන බැංකුවේ හිටපු සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරිවරයා සහ බැංකුවේ ආයතනික කළමනාකාරිත්වයේ සාමාජිකයින් සහභාගි වූහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උපදෙස් මත ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිසංස්කරණ වැඩසටහනට අනුකුලව, ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු රාජ්‍ය බැංකුවක සභාපති ධුරයට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.
බලපත්‍රලාභී බැංකු සඳහා ආයතනික පාලනය පිළිබඳ නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 අංක 05 දරන බැංකු පනතේ උපදෙස් මඟින් සවිමත් කරන ලද මෙම රාමුව තුළින්, අධ්‍යක්ෂකවරුන්ගේ ස්වාධීනත්වය තීරණය කිරීම සඳහා වන වඩාත් දැඩි නිර්ණායක හඳුන්වාදී ඇති අතර, අධ්‍යක්ෂක මණ්ඩල මට්ටමින් ස්වාධීන අධීක්ෂණයේ කාර්යභාරයන් තවදුරටත් ශක්තිමත් කර ඇත. එබැවින් මෙම සුවිශේෂ පියවර මහජන බැංකුව කෙරෙහි මහජන විශ්වාසය වඩාත් බලගැන්වීමට සහ එහි ගනුදෙනු කරුවන්ගේ, කොටස්කරුවන්ගේ සහ රටේ යහපත උදෙසා අඛණ්ඩව කළමනාකරණය කිරීම සිදුවන බවට සහතික කෙරෙන වැදගත් පියවරක් බව පෙන්වා දෙයි.
වාණිජ බැංකුකරණයේ වසර 19 ක් ඇතුළුව වසර 28 කට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති ගුණියන්ගොඩ මහතා, මූල්‍ය කළමනාකරණය, උපායමාර්ගික සැලසුම්කරණය, ව්‍යාපාර පරිවර්තනය, ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය, පිරිවැය ප්‍රශස්තකරණය, මානව සම්පත් කළමනාකරණය, වත්කම් සහ බැරකම් කළමනාකරණය, අවදානම් කළමනාකරණය සහ නියාමන වාර්තාකරණය ආදි ක්ෂේත්‍ර ගණනාවක නිපුණත්වයෙන් යුතු වන අතර, එම ක්ෂේත්රයන් පිළිබඳ පුළුල් විශේෂඥතාවයක් ලබා ඇති බව පෙන්වා දෙයි.
ගුණියන්ගොඩ මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (FCA) සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ (FCMA) සාමාජිකයෙකි. එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් (PIM) බැංකු හා මූල්‍යකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී (MBA) උපාධිය හිමිකරගෙන ඇති අතර, කොළඹ විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (MAFE) උපාධිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධිය හිමිකර ගෙන ඇත. එමෙන්ම, ඔහු ලන්ඩන් හි Institute of Bankers & IFS ආයතනය මගින් බැංකු හා මූල්‍ය කරණය පිළිබඳ උසස් සහතිකයද (ACBF) ද ලබාගෙන ඇත.
සිය වෘත්තීය දිවිය තුළ, ගුණියන්ගොඩ මහතා බැංකු සහ ආයතනික ක්ෂේත්රයන්හි විවිධ ජ්‍යෙෂ්ඨ උපායමාර්ගික හා කළමනාකරණ තනතුරු රැසක් හොබවා ඇත. ඒ අතර, NDB බැංකුවේ (NDB Bank PLC) මූල්‍ය, උපායමාර්ගික සැලසුම්කරණ සහ ව්‍යාපාර සහාය පිළිබඳ අංශයේ සහකාර උප සභාපතිවරයා ලෙස හා NDB බැංකුව සහ අපනයන සංවර්ධන මණ්ඩලය අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් වන ඩිවලොප්මන්ට් හෝඩිංස් (පුද්ගලික) සමාගමේ (Development Holdings (Pvt) Ltd) අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කිරිම ප්‍රධාන වේ. NDB බැංකුවේ සේවය නිරත කාලය තුළ වත්කම් හා බැරකම් කළමනාකරණය (Asset & Liability Management) පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ටත්වයක් පෙන්නුම් කළ කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස ද ඔහු කටයුතු කර තිබේ.
මීට පෙර ඔහු සම්පත් බැංකුවේ වත්කම් හා වගකීම් කමිටු නිලධාරියෙකු (ALCO) සහ මූල්‍ය හා සැලසුම් අංශයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකු ලෙසත් සේවය කළේය. ඔහු සිය වෘත්තීය ගමන්මග ඇරඹුවේ Aitken Spence PLC හි පුහුණු උපාධිධාරියෙකු ලෙසිනි. මෑත කාලීනව, ලෝක බැංකුව සහ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතිය ' යටතේ, කෘෂිකාර්මික සහ වැවිලි ක්ෂේත්රයේ අංශ වල ආයතනික ව්‍යුහයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මූල්‍ය හා පරිපාලන ක්ෂේත්රවල විශේෂඥ දැනුමට ලබාදීමට ඔහු කටයුතු කර තිබේ.
මේ වනවිට ගුණියන්ගොඩ මහතා People's Insurance PLC හි ස්වාධීන සභාපතිවරයා ලෙසත්, MG Group of Companies හි සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරිවරයා ලෙසත්, New Vithanakande Tea Factory (Pvt) Ltd හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත්, CCPI Management Holdings (Pvt) Ltd හි විධායක නොවන සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි. එමෙන්ම ඔහු CA Sri Lanka SAB Campus හි කළමනා කරණ මණ්ඩලයේ ගෞරවනීය සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන බව පෙන්වා දෙයි.
මෙසේ ගුණියන්ගොඩ මහතා මහජන බැංකුවේ සභාපති ධුරයට පත්වන්නේ බැංකුකරණය. මූල්‍ය කළමනාකරණය, ආයතනික පාලනය සහ උපායමාර්ගික කළමනාකරණය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තමන් සතු පුළුල් අත්දැකීම් සම්භාරයත් සමඟ මනා නිපුණත්වයකින්, ඉහළ දැනුමකින් සහ විශේෂඥතාවයකින් යුතුවය. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වෙමින් සහ දිවයින පුරා විසිරී සිටින මිලියන සංඛ්‍යාත ගනුදෙනුකරුවන්ට සේවය පිරිනමමින් මහජන බැංකුව සිදුකරන නායකත්ව මෙහෙවර මෙම නව පත්වීම සමඟ වඩාත් ශක්තිමත් වනු නිසැක බව එම බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
