මහජන බැංකුවේ ‘People’s Tower’ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් සහ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මාවතේ, අංක 374 දරණ ස්ථානයේදි අද (07දා) සුබ මොහොතින් විවෘත විය.
පුරා හැට හතර වසරකට අධික කාලයක් මුළුල්ලේ පොදු ජනතාවට මූල්‍ය පහසුකම් පිරිනැමිමෙන් මෙන්ම මෙරට සමාජ ආර්ථික පුනරුදයට අසමසම දායකත්වයක් දක්වමින් දැයේ උන්නතියට කැපවූ මහජන බැංකුව මෙම නව ප්‍රධාන කාර්යාලයට පිවිසීම මෙරට බැංකු හා මුල්‍ය ඉතිහාසයේ සුවිශේෂ මං සලකුණක් වනු ඇත. බැංකුවේ මෙන්ම දේශයේ ආර්ථික වර්ධනය මින් මනාව නිරුපණය වන අතර, මහජන බැංකුවෙන් රටට සහ ජනතාවට ලබාදෙන සේවාව තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව සැලසේ.
මෙම නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල මහල් 22කින් සහ භුගත මහල් 3කින් සමන්විත වන අතර, මහජන බැංකුවේ පාරිසරික තිරසරභාවය පිළිබඳ ප්‍රතිපත්තියට අනුව මෙය සම්පූර්ණයෙන්ම හරිත ගොඩනැගිලි සංකල්පයට අනුගතව ඉදිකර තිබිම විශේෂත්වයකි. එමෙන්ම මෙම ගොඩනැගිල්ලට අංග සම්පූර්ණ පහසුකම්වලින් සපිරි ශ්‍රවණාගාරයක්, ලේඛනගත කිරීමේ ඒකකයක්, නවීන ආපනශාලාවක්, වෛද්‍ය මධ්‍යස්ථානයක්, සම්මන්ත්රණ ශාලා ඇතුළු විශේෂ පහසුකම් රැසක් ඇතුළු මෙහි මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයද පිහිටුවා ඇති අතර, ගනුදෙනුකරුවන්ට අති නවීන ඩිජිටල් බැංකු පහසුකම් පිරිනැමිමේ අරමුණින් මහජන බැංකුවේ යුනියන් පෙදෙස ශාඛාවද මෙහි ස්ථාපිත කර ඇත. එමෙන්ම
මහජන බැංකුව නව ප්‍රධාන කාර්යාලයට පිවිසීම නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ සමරු කවරයක් සහ මුද්දරය එළි දැක්වීමද මෙහිදි සිදුකෙරිණි.
මහජන බැංකුවේ පැරණි ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල කොළඹ 02, සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ 1977 වසරේදි පිහිටවූ අතර, ඉන් දශක ගණනාවකට පසු ස්ථාපිත කළ මෙම නව ප්‍රධාන කාර්යාලය රාජ්‍ය බැංකුවක් සහ ජාතික ආයතනයක් ලෙස මහජන බැංකුවේ ස්ථාවරත්වය, නව්‍යත්වය, කාර්යක්ෂමතාව සහ අභිමානය පිළිඹිබු කරන අවස්ථාවකි.
මෙම විවෘත කිරීමේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහතා ඇතුළු ආයතනික සහ විධායක කළමනාකාරිත්වය, ආරාධිතයින්, ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.