ඔබගේ වාහන සිහිනය සැබෑ කරගැනීමට අගනා අවස්ථාවක් සලසා දෙමින්, මහජන බැංකුව සහ ටොයෝටා ලංකා (පුද්.) සමාගම එක්ව විශේෂ රථ වාහන ණය පහසුකමක් හඳුන්වා දී තිබේ.
මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට වත්තල, ටොයෝටා ප්ලාසා හිදී පසුගියදා අත්සන් තැබිණි. මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (කුඩා හා මධ්‍ය පරිමාණ සංවර්ධන සහ ක්ෂුද්‍ර මූල්‍ය) වික්‍රම නාරායන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු සහ එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන, ටොයෝටා ලංකා සමාගමේ ප්‍රධානි/ව්‍යාපෘති කළමනාකාර (වටිනාකම් සහ සංචලතා විසඳුම්) නඕටකා ටකේඩා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මතීෂ සමරනායක, ප්‍රධාන මූල්‍ය නිලධාරි ගයාන් කරුණාරත්න, ප්‍රධාන මානව සම්පත් නිලධාරි ඩිමෙට්‍රියස් පෙරේරා, සාමාන්‍යාධිකාරී (විකුණුම්) රවී ඕපාත, සාමාන්‍යාධිකාරී (රථවාහන වටිනාකම් වැඩි දියුණු කිරීම) විපුල් බණ්ඩාර සහ නියෝජ්‍ය කළමනාකරු (මූලික අලෙවිකරණ අංශය) සුරේන් ද සිල්වා යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
මේ තුළින් අලුත්ම වාහනයක් මිලදී ගැනීම සඳහා මහජන බැංකුවේ People’s Auto Loan සේවාව ඔස්සේ පහසු හා නම්‍යශිලී ආපසු ගෙවීමේ ක්‍රම සමඟ ණය පහසුකම් පිරිනැමේදී ගනුදෙනුකරුවන්ට වසර 5ක කාලයක් ඇතුළු ගෙවීමට රු.100,000/- කට රු.1,499/-ක අවම මාසික වාරිකයක් හිමිවන අතර, 30%ක් දක්වා වූ ණය මුදල කල් දැමීමක් ලබා දෙයි. එසේම, වසර 5කින් අනතුරුව කල් දැමූ මුදල සම්පූර්ණයෙන්ම පියවිය හැකි අතර, නැතහොත් නව ණයක් බවට පරිවර්තනය කළ හැකි වෙයි.
People’s Auto Loan වෙනත් ණය ක්‍රම වලට වඩා වෙනස් වන අතර, ඉතා තරඟකාරී පොලි අනුපාත, කලින් පියවීමේ ගාස්තු නොමැති වීම සහ ණයවර ලිපි (LC) විවෘත කිරීමේදී සුවිශේෂ වට්ටම් ලබාදෙයි. එමෙන්ම, මෙම පහසුකම මඟින් ගනුදෙනුකරුවන්ට වාහනයේ සම්පූර්ණ හිමිකාරිත්වය හිමිකර ගැනීමටත් අවස්ථාව හිමිවේ.