දේශීය පරිභෝජනය සඳහා ඇනවුම් කළ විශාලතම ගෑස් තොගය රැගෙන ඉතිහාසයේ මෙරටට පැමිණි විශාලම ගෑස් ප්‍රවාහන නෞකාව මේ සතියේ මෙරටට පැමිණි බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.
EUPEN ලෙස නම් කර ඇති විශාල ප්‍රමාණයේ ගෑස් තොග ප්‍රවාහනය කළ හැකි මෙම නෞකාව ඇමෙරිකාවේ හියුස්ටන් වරායේ සිට හම්බන්තොට වරාය දක්වා මෙට්‍රික් ටොන් 22,000ක් රැගෙන පැමිණි අතර, එය LP ගෑස් රැගෙන මෙරටට පැමිණි විශාලතම නෞකාවක් ලෙස ඉතිහාසගත වේ.
ලාෆ්ස් ගෑස් සමාගම විසින් ඇනවුම් කර ලබාගන්නා මෙම මෙට්‍රික් ටොන් 22,000ක ගෑස් තොගය ඔවුන්ගේ හම්බන්තොට ගබඩා පර්යන්තයේ රඳවා තැබෙන අතර, එමගින් ඉදිරි මාස කිහිපය සඳහා අවශ්‍ය වන තොග මට්ටම පවත්වාගෙන යාම ඔවුන්ගේ අරමුණ බව අපවෙත අදහස් දක්වමින් එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය. එමෙන්ම පුද්ගලික ආයතනයක් ලෙස වුවද ආර්ථිකමය සහ ගෝලීය බාධක හමුවේ මෙම පියවර ගනු ලැබුවේ හුදෙක්ම දේශීය පාරිභෝගිකයාට විශිෂ්ට සේවාවක් සැපයීමට බව හෙතම සඳහන් කළේය.
මෙම මෙට්‍රික් ටොන් 22000ට අමතරව මීට පෙරද ලාෆ්ස් ගෑස් ආනයන කළ ගෑස් තොග කොළඹ සහ හම්බන්තොට වරායන්වලට පැමිණි අතර, ඔක්තෝබර් 27දා පැමිණි 'ගෑස් ඇතීනා' නෞකාව, ඔක්තෝම්බර් 30දා දින පැමිණි 'එපික් වින්සේන්ට්' නෞකාව, නොවැම්බර් 2දා පැමිණි 'හෙලේනා'නෞකාව හා නොවැම්බර් 7දා පැමිණි 'ගෑස් සියුස්' නෞකා හරහා මෙට්‍රික් ටොන් 12,600කට අධික LP ගෑස් තොග දේශීය වෙළෙඳ පොළට ලබාදීමට ලාෆ්ස් ගෑස් සමාගමට හැකියාව ලැබී ඇත.
මෙවැනි විශාල ප්‍රමාණයේ ගෑස් ප්‍රවාහන නෞකාවක් මෙරට සමාගමක් වෙත පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වන අතර, තවදුරටත් තම පාරිභෝගිකයා වෙත ගුණත්වයෙන්, උසස් ප්‍රමිතියෙන් යුතු සේවාවක් ලබාදීමට තමන් කැපවන බව තවදුරටත් අදහස් දක්වමින් ලාෆ්ස් ගෑස් ප්‍රකාශකයා සඳහන් කළේය.