අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කුරුණෑගල රිදීගම - පුස්සැලිතැන්න ගම්මානය අපනයනය ඉලක්ක කරගත් කාබනික කුළුබඩු ගම්මානයක් ලෙස මේ වනවිට සංවර්ධනය කර ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ නිරෝෂන් විජයසිංහ මහතා පවසයි. ගුණාත්මක කුළුබඩු නිෂ්පාදන ප්‍රවර්ධනය අරමුණු කරගත්, කාබනික කුළුබඩු අපනයන ගම්මාන ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාවට නංවා තිබේ.
මෙම කාබනික කුළුබඩු වගා සහිත අපනයන ගම්මාන සංවර්ධනය කිරීමේ ප්‍රථම අදියර යටතේ රිදීගම, පුස්සැලිතැන්න ගම්මානයේ තෝරාගත් ප්‍රතිලාභීන් 25 දෙනෙකු වෙනුවෙන් රු.ලක්ෂ 3ක් වටිනා චෙක්පත් බෙදාදීම 21දා පුස්සැලිතැන්න ප්‍රජා ශාලාවේදී සිදුකෙරිණි. අපනයන කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී හීන්කෙන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්යක්ෂ (සංවර්ධන) ජනක ලින්දර මහතාගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය මගින් සංවිධානය කළ බව නිරෝෂන් විජයසිංහ මහතා පවසයි.
මෙහිදී, කාබනික කුළුබඩු වගාව පිළිබඳ දැනුවත් කිරීම, කුළුබඩු බෝග සඳහා ජාත්‍යන්තරව පිළිගත් කාබනික වගා සහතිකපත්‍ර ලබාදීම මෙන්ම, කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ පුහුණුව ලබාදීමටද කටයුතු සුදානම් කර ඇති බව සහකාර අධ්යක්ෂවරයා වැඩිදුරටත් පවසා සිටියි.