ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා, 2025 අගෝස්තු 11 වැනි දින හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. වරාය පිළිබඳව සෘජු දැනුමක් මෙන්ම එහි වර්ධනය වෙමින් පවතින ජාත්‍යන්තර වැදගත්කම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම සංචාරය සිදු කරන ලදී. ඔහු සමඟ මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශක රසිකා සුමුදු ජයසිංහ මහත්මිය ද එක්ව සිටියේය.
HIP හි අති නවීන පහසුකම් නිරීක්ෂණය කළ දූත පිරිසට, වරායේ බහාලුම් සහ තොග භාණ්ඩ හැසිරවීම්, RORO සේවා, බලශක්ති සැපයුම් සහ ඒකාබද්ධ කාර්මික සහාය වැනි බහුකාර්ය මෙහෙයුම් පිළිබඳව දැනුමක් ලබා දෙන ලදී. මෙම සංචාරය තුළින් ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ අර්ථවත් සංවාදයකට දොරටු විවෘත කළ අතර කලාපීය සහ ගෝලීය හවුල්කරුවන් සඳහා ලොජිස්ටික්ස් සහ සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස HIP හි ස්ථාපිතය වඩාත් ශක්තිමත් කරනු ඇත.
කාර්යබහුල නැගෙනහිර-බටහිර නැව් ගමනාගමන මාර්ගයේ සිට නාවික සැතපුම් 10 ක් දුරින් උපාය මාර්ගිකව පිහිටා ඇති HIP, ඉන්දියානු සාගර නාවික මාර්ගයේ ප්‍රධාන ක්‍රියාකරුවෙකු ලෙස ඉතා වේගයෙන් පිළිගැනීමක් ලබා ගනිමින් සිටී. පසුගිය වසර පුරා විවිධ ක්ෂේත්රයන් කිහිපයක් හරහා සුවිශේෂී වර්ධනයක් වරාය වාර්තා කර ඇති අතර, ඒ හරහා ශ්‍රී ලංකාවට පමණක් නොව අවට කලාපයටත් වාණිජ අවකාශ ලබා දෙන මූලික වරායක් ලෙස තම ප්‍රමුඛත්වය සනාථ කරයි.
මහ කොමසාරිස් පයින් මහතාගේ සංචාරය, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අනාගත ආයෝජන සහයෝගිතාවන් සඳහා ඉඟියක් මෙන්ම, සමුද්‍රීය දොරටුවක් ලෙස HIP හි කාර්යභාරය පිළිබඳ ජාත්‍යන්තර උනන්දුව තවත් ඉස්මතු කරයි.