එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට දරණ වෑයම සඳහා උපකාර පිණිස ඇ.ඩො.100,000ක ආධාරයක් ලබාදීමට ඇමෙරිකාව කටයුතු කර තිබේ.
වෙරළබඩ සම්පත් සහ ආසන්නයේ ධීවර ප්රජාවන්ගේ ජීවනෝපායන් අනතුරේ හෙළමින් මෙම නෞකාවෙන් ප්ලාස්ටික් කැබලි සහ රසායනික ද්‍රව්‍ය මුහුදට මුදාහැරීමක් සිදුවිය.
මෙම ආධාරයෙන්, මෙම හදිසි අවස්ථාව හේතුවෙන් තම ජීවනෝපාය බලපෑමට ලක්වූ පවුල්වලට කඩිනමින් උපකාර ලබාදෙනු ඇති බවත්, ප්‍රතිචාර සම්බන්ධීකරණය සහ කළමනාකරණය සඳහා දැනට ලබාදෙමින් පවතින සහාය තවදුරටත් පුළුල් කරනු ඇති බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
එක්සත් ජනපදය මෙම ආධාර ලබාදෙන්නේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ ක්‍රියාත්මක හවුල්කරුවන් හරහා බවද කියයි.
සමුද්‍රීය ආපදා ප්‍රතිචාර ඇතුළුව හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීම සඳහා දේශීය ශක්‍යතා වර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදයත්, ශ්‍රී ලංකාවත් වසර ගණනාවක සිට කටයුතු කර ඇති බව පෙන්වා දෙන තානාපති කාර්යාලය, ගංවතුර සහ නායයෑම් හානි අඩුකර ගැනීමටත්, ඒවා කළමනාකරණයටත් උපකාර කිරීම සඳහා සහ ආපදාවලට වඩාත් හොඳින් සූදානම්වීම හා යථාතත්ත්වයට පත්වීම සඳහා ප්‍රජාවන්ට හැකියාව ලබාදීම සඳහා අරමුදල් ලබාදී ඇති බවද වැඩිදුරටත් පවසයි.