දකුණු කොරියාව සමඟ ව්‍යාපාර කිරීම පිළිබඳ සැසියක්
ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා - කොරියානු ව්‍යාපාරික කවුන්සිලය මෑතකදී "දකුණු කොරියාව සමඟ ව්‍යාපාර කිරීම" යන තේමාව යටතේ දැනුවත් කිරීමේ සැසියක් පවත්වා තිබේ.
එමඟින් ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා අවස්ථා ගවේෂණය කිරීම සඳහා ප්‍රධාන පාර්ශ්වකරුවන් එක්රැස් කර ඇත.
ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනි මියන් ලී මහත්මිය සහ තානාපති කාර්යාලයේ නිලධාරීන්, නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී යුන්ජි කන්ග් මහත්මිය සහ පර්යේෂණ නිලධාරී මින්වූ ජෝ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
කොරියානු වෙළෙඳ-ආයෝජන ප්‍රවර්ධන ඒජන්සියේ (KOTRA) අධ්යක්ෂ ජනරාල් ලී කියුංසියොක් මහතා; ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ වෙළඳ ප්‍රධානී චරිත යට්ටෝගොඩ මහතා; මූලාරම්භක අංශයේ නීති ප්‍රධානී ජගත් අබේවර්ණ මහතා; දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක (වාණිජ) චන්දිමා අබේරත්න මහත්මිය සහ දකුණු කොරියාවට පත් කරන ලද නව වාණිජ නිලධාරී කසුන් බාලසූරිය මහතා මෙම සැසියට අන්තර්ජාලය හරහා සහභාගී වූහ. කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (KOICA) දේශීය අධ්යක්ෂ ලී යූ ලී මහත්මිය ද ආරාධිතයෙකු ලෙස සහභාගී වූහ.
ශ්‍රී ලංකා අපනයනකරුවන් සඳහා ඉහළ විභව අංශ හඳුනා ගැනීමෙන් දකුණු කොරියාවට විභව අපනයන අවස්ථා ඉස්මතු කරන අතරම, ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආයෝජන සබඳතා පිළිබඳ දළ විශ්ලේෂණයක් මෙම සැසියේදී සපයන ලදී. ආසියා-පැසිෆික් වෙළෙඳ ගිවිසුමේ (APTA) ඵලදායී භාවිතය සමග, ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා නැගීඑන ප්රවණතා සහ අනාගත අපේක්ෂාවන්ද එය ගවේෂණය කර ඇත. ඊට අමතරව, කොරියානු වෙළෙඳපොළට ඇතුළු වෙමින් තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන ව්‍යාපාර සඳහා ප්‍රායෝගික අවබෝධයක් ලබා දෙමින්, APTA යටතේ සුදුසුකම් සහ අනුකූලතාව පිළිබඳ මාර්ගෝපදේශ ගෙනහැර දක්වා තිබේ.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ආනයනකරුවන්, අපනයනකරුවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙම අවස්ථාවට හොඳින් සහභාගී වූහ.
තානාපති මියොන් ලී මහත්මිය සිය කතාවේදී, ශ්‍රී ලංකා-කොරියානු ව්‍යාපාරික කවුන්සිලය කොරියානු සමාගම්වල දිගුකාලීන හවුල්කරුවෙකු ලෙස පිළිගත් අතර මෑත කාලීන අභියෝග හමුවේ ශ්‍රී ලාංකේය ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව අගය කළාය. ශ්‍රී ලංකාවේ තීරුබදු ව්‍යුහය විධිමත් කිරීමේ සහ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් පුළුල් කිරීමේ වැදගත්කම ඇය තවදුරටත් අවධාරණය කළාය.
රැස්වීම අමතමින්, ශ්‍රී ලංකා-කොරියානු ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති ෂමිල් මෙන්ඩිස් මහතා, නැගෙනහිර ආසියානු වෙළෙඳපොළ කෙරෙහි අවධානය යොමු කරන ශ්‍රී ලාංකේය ව්‍යාපාරවල වැදගත්කම අවධාරණය කළේය. ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ශක්තිමත් වෙළෙඳ, ආයෝජන සහ ව්‍යාපාරික සබඳතා වර්ධනය කිරීම සඳහා කවුන්සිලයේ කැපවීම ඔහු නැවත තහවුරු කළ අතර, සංවාදය, දැනුම බෙදා ගැනීම සහ අන්‍යෝන්‍ය වර්ධනය සඳහා වේදිකාවක් ලෙස කවුන්සිලය දිගටම කටයුතු කරන බව සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
