දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව ලෙස සැලකෙන මාතර සිට හම්බන්තොට දක්වා කිලෝමීටර් 96කින් යුතු කොටස මේ වසරේ අගෝස්තු මාසයේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා රජය විසින් ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුනාගෙන ඇත. 2015 ජුලි මාසයේ ආරම්භ කළ මෙම අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කිලෝමීටර් 30කින් යුතු මාතර සිට බෙලිඅත්ත දක්වා කොටස ලබන ජුලි මාසයේ ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබේ. චීන සමාගම් තුනක් විසින් ඉදිකිරීම් සිදු කරන මෙම අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා ප්‍රධාන පිවිසුම් 8කින් සමන්විත වෙයි.
එහි ඇස්තමේන්තුගත මුළු මුදල රු.බිලියන 252.5 කි. එමෙන්ම අධිවේගී මාර්ග පද්ධතියේ කොළඹ පිටත වටරවුම් මාර්ග පද්ධතියද මේ වසරේ ඉදිකර අවසන් කිරීමට නියමිතය. එහි අවසන් අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝමීටර් 9.63ක කොටස එළැඹෙන ජුනි මාසයේ අවසන් කිරීමට නියමිත අතර, එහි වැඩ ආරම්භ කෙරුණේ, 2016 ජනවාරි මාසයේදී ය.
මෙම පිටත වටරවුම් මාර්ගය ඉදිකිරීමෙන් පසු දක්ෂිණ අධිවේගී මාර්ගය හා කටුනායක අධිවේගී මාර්ග පද්ධතිය එකට යා වෙනු ඇත. එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුමද ඒ අනුව ඉදිකර අවසන් කිරීමට නියමිත ය. එහි ඇස්තමේන්තුගත මුළු මුදල රු.බිලියන 66.7කි.
එමෙන්ම, දැනට ගොඩගම තෙක් පමණක් විහිදී ඇති දක්ෂිණ අධිවේගය නුදුරු අනාගතයේදීම හම්බන්තොට දක්වා දිගුකිරීම මෙම අධිවේගී සැලැසුමේ කොටසකි. දැනට වාර්තා වන ආකාරයට මේ වසරේ මැද භාගය වනවිට දක්ෂිණ අධිවේගය හම්බන්තොටට පිවිසෙනු ඇත.
මාතර ගොඩගම දක්වා දිගු කර තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට, මත්තල දක්වා දිගු කිරීම කලින් පැවැති රජයේ සැලසුමක් වූ අතර 2014 අග භාගයේදී එහි මූලික වැඩකටයුතු ඇරඹිණි. නමුත් 2015 ආණ්ඩු වෙනසත් සමඟ එම සැලසුම තාවකාලිකව යටපත් විය. නැවතත් 2015 ජූලි මාසයේදී හම්බන්තොට දක්වා අධිවේගය දිගුකිරීමේ ව්‍යාපෘතිය යළි පටන් ගැනිණි.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ හම්බන්තොට යෝජිත කර්මාන්ත කලාපය කොළඹ වාණිජ අගනගරය සමග යා කිරීම ය. නොඑසේ නම් හම්බන්තොට කර්මාන්ත කලාපය සහ කොළඹ අතර ගමනාගමන කාලසීමාව අඩු කිරීමය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ පැයට කිලෝමීටර 120 ක උපරිම වේග සීමාවකට ඔරොත්තු දිය හැකි ආකාරයට මෙය නිර්මාණය කිරීම ය.
ගොඩගම සිට මත්තල දක්වා දිවෙන දක්ෂිණ අධිවේගයේ මෙම අදියර ඉදිවන්නේ කොටස් හතරක් වශයෙනි. ඒ ගොඩගම සිට බෙලි අත්ත දක්වා (කි.මී. 30) පළමු කොටස ද, බෙලිඅත්තේ සිට වැටිය දක්වා (කි.මී. 26) දෙවැනි කොටස ද වැටිය සිට අන්දරවැව දක්වා (කි.මී. 15) තෙවැනි කොටස හා අන්දරවැව හරහා හම්බන්තොට මත්තල දක්වා (කි.මී. 25) සිව්වැනි කොටස ද වශයෙනි. ඒ අනුව ගත් කල ගොඩගම සිට මත්තල දක්වා දිවෙන මෙම අධිවේගී මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර 96කි.
චීනයේ එක්සිම් බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 2019 අගෝස්තු වන විට අවසන් වීමට අපේක්ෂිත ය. මෙහි සමස්ත පිරිවැය රු.බිලියන 103.2ක් වෙතැයි ඇස්තමේන්තු කර තිබේ. ධාවන මං තීරු හතරක් වශයෙන් (එක් දිශාවකට මංතීරු දෙක බැගින්) මූලිකව ඉදිකෙරෙන අධිවේගී මාර්ගයට ඉදිරියේදී තවත් මං තීරු දෙකක් එකතු කොට මං තීරු හයක අධිවේගී මාර්ගයක් ලෙස දිගුකිරීමට අපේක්ෂිත ය.
මෙම අධිවේගී මාර්ග කොටසේ මුළු අන්තර් හුවමාරු සංඛ්‍යාව 8කි. ඒ ගොඩගම, අපරුක්ක, බෙලිඅත්ත, කහගල්ල, අඟුණුකොළපැළැස්ස, වැටිය, සූරියවැව සහ අන්දරවැව වශයෙනි. හම්බන්තොටින් (මත්තල) අධිවේගය නිමාවට පත්වේ.
වැටිය සිට අන්දරවැව දක්වා කොටසේ සූරියවැව නගරයට අන්තර්හුවමාරුවක් පවතින අතර, ඒ හරහා දැනට හුදෙකලා වී ඇති සූරියවැය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයටද පහසු ප්‍රවේශ මාර්ගයක් හිමිවනු ඇත. එමෙන්ම අන්දරවැව අන්තර් හුවමාරුව ඔස්සේ හම්බන්තොට මාගම්පුර වරාය දක්වා දිවෙන ප්‍රවේශ මාර්ගයක්ද ඉදිකෙරේ.
ව්‍යාපෘතියේ පරිසර ඇගැයුම් වාර්තාවට අනුව වෙනත් අධිවේගී මාර්ගවලට (දැනට නිමවී ඇති වැඩ සිදුකරමින් පවතින සහ ඉදිරියේදී තැනීමට නියමිත) සාපේක්ෂව අඩු පරිසර හානියකින් යුතුව මාතර සිට මත්තල දක්වා කොටස ඉදිකළ හැකි බව පෙන්නුම් කෙරේ. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ මුළුමනින්ම තැනිතලා භූමියක් දිගේ මාර්ගය ඉදිවන බැවින් ඉහළ උන්නතාංශවලට ගමන්කිරීමේ අවශ්‍යතාවක් නොපැවතීම සහ එම ප්‍රදේශයේ ජල මාර්ගවල පිහිටීමද ඉතා අවම බැවිනි. කෙසේ වෙතත් වලවේ ගඟ හරහා අධිවේගී මාර්ගය ඉදිවන අතර ගඟ හරහා මීටර 600ක දිගින් යුත් පාලමක් ඉදිවේ.
මෙම සමස්ත ව්‍යාපෘතියේ ඉංජිනේරු උපදේශකත්වය, චයිනා රේල්වේ ෆස්ට් සර්වේ ඇන්ඩ් ඩිසයින් ආයතනයද කොන්ත්‍රාත්කරු ලෙස චයිනා ස්ටේට් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනියරින් සමාගම යන චීන සමාගම් ක්‍රියාකරයි.
මේ වනවිට කොට්ටාව සිට ගොඩගම දක්වා දක්ෂිණ මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර 126ක් වන, අතර මත්තල දක්වා දිගු කිරීමෙන් අනතුරුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර 222ක් වනු ඇත. මේ වනවිට දක්ෂිණ අධිවේගය කොළඹ පිටත වටරවුම් අධිවේගයේ කඩවත දක්වා වූ කිලෝ මීටර 24ක කොටස සමඟ යා වී ඇති නිසා කඩවත සිට හම්බන්තොට දක්වා එක් අධිවේගී මාර්ගයක් ඔස්සේ ගමන් ගැනීමේ අවස්ථාව මේ වසර අවසාන වන විට මෙරට ජනතාවට උදාවනු ඇත.