තරුණ දේශගුණ තානාපතීන්ගේ ව්‍යාපෘති 24ක් The Climate Spark හිදී එළිදකී
තරුණ තරුණියන්ට දේශගුණය වෙනුවෙන් හඬ නඟන්නන් ලෙස ඵලදායී භූමිකාවක් ඉටු කළ හැකිද? දේශගුණික යහපත වෙනුවෙන් මැදිහත් වීමට තරුණ පරපුර දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ British Council ආයතනය දීර්ඝ කාලයක පටන් දරන උත්සාහය මේ වන විට බෙහෙවින් සාර්ථක වී ඇති බව පවතින දත්ත මඟින් පෙනී යයි. පසුගිය වසර තුනක කාලය තුළ British Council මඟින් දේශගුණික ව්‍යාපෘති 114 ක් වෙනුවෙන් තරුණ තරුණියන් 770දෙනෙකු සම්බන්ධ කරගෙන තිබේ.
මෙම වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන වූ University Youth Climate Ambassadors (YCA) වැඩසටහනට සහභාගී වූ පිරිස 2026 මාර්තු 19 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්වුණු ‘The Climate Spark: Connecting Stories for Change’ සමුළුවේදී තම ව්‍යාපෘති ඉදිරිපත් කළහ.
2025 වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ වූ මෙම ව්‍යාපෘතියට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය, සාගර විශ්ව විද්‍යාලය, NSBM හරිත විශ්ව විද්‍යාලය සහ රුහුණු විශ්ව විද්‍යාලය යන විශ්ව විද්‍යාලවල ප්‍රථම උපාධි හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 204දෙනෙක් සහභාගී වූහ.
මෙම සමුළුවේදී තරුණ දේශගුණ තානාපතිවරුන්ට British Council විසින් ආරාධනා කරන ලද රජයේ හා පෞද්ගලික අංශයේ නියෝජිතයන් සහ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් මෙන්ම වෙනත් විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද හමුවීමට අවස්ථාව ලැබිණි. එහිදී ඔවුන්ට තම ව්‍යාපෘති සහ ඒවායෙහි ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමටත්, මෙම වැඩසටහෙන් ඔබ්බට තම දේශගුණික මෙහෙවර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෘත්තීය සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත් හැකි විය.
මෙම වැඩසටහන ආරම්භයේදී British Council හි සම්පත් දායකයන් විසින් මෙම තරුණ තරුණියන්ට දේශගුණික ක්‍රියාකාරකම්, ව්‍යාපෘති කළමනාකරණය, වෘත්තීය සම්බන්ධතා සහ නායකත්වය ඇතුළු බොහෝ දේ පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදි. ඉන් අනතුරුව එම පුහුණුවට සහභාගී වූවන් 154දෙනෙක් 2025 නොවැම්බර් සිට 2026 මාර්තු දක්වා කාලසීමාව තුළ කණ්ඩායම් වශයෙන් එක් වී ශ්‍රී ලංකාව පුරා දේශගුණික ක්‍රියාකාරකම් ව්‍යාපෘති 24ක් ක්‍රියාත්මක කළහ. මේ සඳහා ඔවුන්ට උපදේශකවරුන් 38 දෙනෙකුගේ සහ YCA වැඩසටහනේ ක්‍රියාත්මක කිරීමේ හවුල්කරුවන් (Implementing Partners) වන EarthLanka Youth Network සහ Sevanatha Urban Resource Center යන සංවිධානවල සහයෝගයද හිමි විය.
දේශගුණික විපර්යාසවලට තුඩු දෙන හේතු සහ ඒවායෙහි බලපෑම අවම කිරීම සඳහා පුරවැසියන්ට ගත හැකි අර්ථවත් පියවර මෙම ව්‍යාපෘතිය මඟින් පෙන්වා දෙන ලදි. උදාහරණයක් ලෙස විවෘත විශ්ව විද්‍යාලයේ සහ රුහුණු විශ්ව විද්‍යාලයේ කණ්ඩායම් දෙකක් විසින් ඔවුන්ගේ පීඨවල ආපනශාලාවලින් ඉවත් කරන ආහාර අපද්‍රව්‍ය ඉවත් කර එම කාබනික අපද්‍රව්‍ය යොදාගෙන ජීව වායු සහ ඉහළ ප්‍රෝටීන් සංයුතියක් සහිත කුකුළු ආහාර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි.
යාපනය විශ්ව විද්‍යාලයේ සහ සාගර විශ්ව විද්‍යාලයේ කණ්ඩායම් තුනක් මුහුදු තෘණබිම් අධ්‍යයනය කළ අතර, දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ඒවා මඟින් ඉටු වන තීරණාත්මක කාර්යභාරය පිළිබඳව ඔවුහු ජනතාව දැනුවත් කළහ. සාගර විශ්ව විද්‍යාල කණ්ඩායමේ තවත් නවෝත්පාදනයක් වූයේ තෙත්බිම් සංරක්ෂණය සඳහා නව පරිසර පද්ධති ඉංජිනේරු ආකෘතියක් හඳුන්වා දීම ය. එමෙන්ම සාගර විශ්ව විද්‍යාලයේ සහ රුහුණු විශ්ව විද්‍යාලයේ කණ්ඩායම් දෙකක් සිය අධ්‍යයන පීඨ තුළ කාබන් පියසටහන ගණනය කර, එය අවම කිරීමට හෝ සමතුලිත කිරීමට අවශ්‍ය පිළියම් යෝජනා කළෝය.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් දේශගුණික විපර්යාසවල බලපෑම්වලට ලක් වූ තරුණ තරුණියන් ඉලක්ක කරගෙන මනෝ-සමාජීය වශයෙන් සංවේදී ප්රවේශයන් පදනම් කරගත් පුළුල් ස්වෙච්ඡා මාර්ගෝපදේශයක් හඳුන්වා දෙන ලද අතර, NSBM හරිත විශ්ව විද්‍යාල යේ කණ්ඩායමක් විසින් දේශගුණික විපර්යාස මිනිස්-අලි ගැටුමට බලපාන ආකාරය පෙන්වා දෙන කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන ලදි.
”අපගේ තරුණ දේශගුණ තානාපතිවරුන් මෙතරම් කෙටි කාලයක් තුළ මෙවැනි සාර්ථකත්වයක් අත්කර ගැනීම ප්‍රශංසනීයයි. තම ව්‍යාපෘතිවලට ප්‍රජාවන් තුළින් 1,500 කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමින්, මෙම වැඩසටහන්වල සීමාවෙන් ඔබ්බට විහිදෙන දීර්ඝකාලීන යහපත් බලපෑම් ඇතිකිරීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා අපට සුවිශාල සහයෝගයක් ලබාදුන් විශ්ව විද්‍යාල මෙන්ම නන් අයුරින් අපට සහය වූ රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවනසංවිධාන සහ පෞද්ගලික අංශයේ ආයතන ඇතුළු සියලුම හවුල්කරුවන් සමඟ එක් වී මෙම වැඩසටහනේ සාර්ථකත්වය සැමරීමට හැකි වීම අපට විශාල සතුටක්” යැයි ශ්‍රී ලංකාවේ British Council හි අධ්යක්ෂ ඔර්ලන්ඩෝ එඩ්වර්ඩ්ස් මහතා පැවසීය.
‘The Climate Spark’ වැඩසටහන ආරම්භයේදී ඔර්ලන්ඩෝ එඩ්වර්ඩ්ස් මහතාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් තෙරේසා ඕ’මහෝනි මහත්මිය විසින් එක්සත් රාජධානියේ දේශගුණික දැක්ම පිළිබඳ දේශනයක් පවත්වන ලදි. ඉන් අනතුරුව වෛද්‍ය වින්යා ආරියරත්න (සභාපති, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය), මහාචාර්ය තරංගා තෝරදෙණිය (ජෛව රසායන විද්‍යා සහ අණුක ජීව විද්‍යා අධ්‍යයනාංශය, වෛද්‍ය පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය) සහ සජිනි වික්‍රමසිංහ (නීතිඥ, පර්යේෂිකා සහ දේශගුණ විපර්යාස සාකච්ඡා නිලධාරිනී) යන විද්වතුන් සහභාගී වූ විශේෂ සංවාදමය වැඩසටහනක්ද පැවැත්විණි. එහිදී සංවාදයට සහභාගී වූ විද්වතුන් විසින් ඩිජිටල් ක්‍රියාකාරීත්වය (Digital Activism), ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ ගනුදෙනු කිරීම සහ ප්‍රජාවන් බලගැන්වීම වැනි මාතෘකාවලට අදාළව තරුණ දේශගුණ තානාපතිවරුන් විසින් විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන ලදි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
