ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂාණ නියෝජිතායතනය (ICTA), ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් (පුද්.) සමාගම (PwC ශ්‍රී ලංකාව) සමග එක්ව තාක්ෂණික සමාගම් සඳහා අවම ඇපකරයක් සහිත ණය පහසුකම් ලබාගැනීමේදී අනුගමනය කළ යුතු ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වා දී තිබේ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද බී. හේරත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී අනුර ද අල්විස්, ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් (පුද්.) සමාගමේ ගනුදෙනු සේවා අධ්යක්ෂ කාවින්ද වීරකෝන්, ඩී.එෆ්.සී.සී. බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරී අශෝක් ගුණසේකර, එන්.ඩී.බී බැංකුවේ මධ්‍යම වෙළෙඳ පොළ හා ව්‍යාපාර බැංකුකරණයේ උප සභාපති ඉන්දික රණවීර, පේමීඩියා (පුද්.) සමාගමේ නිර්මාතෘ /ප්‍රධාන විධායක නිලධාරී කනිෂ්ක වීරමුන්ද යන මහත්වරුන් එක්ව සිටියහ.
තාක්ෂණික සමාගම් ව්‍යාප්ත කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවේ. විශේෂයෙන් සාම්ප්‍රදායික ණය ඇගයීමේ ක්‍රම මගින් නිශ්චිත ණය ප්‍රමාණයක් ලබා ගැනීමට හෝ ව්‍යාපාර ණයක් සඳහා සුදුසුකම් ලැබීමට භෞතික ඇපකර ඉදිරිපත් කිරීමට අවශ්‍ය වීම ඊට හේතුවයි.
සීමාසහිත කැල්සි ටෙක්නොලොජීස් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මංගල කරුණාරත්න, ලංකා ඒන්ජල් නෙට්වර්ක් හි ප්‍රධාන විධායක නිලධාරී චලින්ද අබේකෝන්, එන්.ඩී.බී ඉන්වෙස්ට්මන්ට් බෑන්ක් ලිමිටඩ් හි ප්‍රධාන ආයතනික උපදේශක නිලධාරී නිලේන්ද්‍ර වීරසිංහ, සිමෙක්ස් (පුද්.) සමාගමේ අධ්යක්ෂ වෙලිංටන් පෙරේරා සහ සී මැසෙන්ජර් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී ජයෝමි ලොකුලියන යන අයගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක නිසි සහයෝගය හා උපදේශනය සමග මෙම වැඩසටහන සකස් කර ඇත.
නව වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා, "නව්‍ය තාක්ෂණික ව්‍යවසායක පරිසර පද්ධතියට රටේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ හැකියාවක් පවතින මොහොතක, මෙම තාක්ෂණික සමාගම් වර්ධනය සඳහා මූල්‍ය සහයෝගය ලබාදීම අත්‍යවශ්‍ය වන අතර ඔවුන්ගේ විශාල අපනයන ධාරිතාවද සැලකිල්ලට ගත යුතුයි. මෙම විකල්ප ණය ඇගයීමේ ක්‍රියාවලිය මගින් තාක්ෂණික සමාගමක් පුද්ගලික ආයෝජන මත රඳා නොසිට ණයක් සඳහා ඉල්ලුම් කළ හැකියි." යනුවෙන් පැවසීය.
යාන්ත්‍රණය තවදුරටත් විධිමත් කිරීම සඳහා බැංකු කිහිපයක ණය ඇගයීම් නිලධාරීන්ගේ නිර්දේශයන් සමඟ වැඩසටහන සැලසුම් කර තිබීම විශේෂත්වයකි. ණය ක්‍රියාවලිය සඳහා තාක්ෂණ සමාගම් තක්සේරු කිරීමේදී නව වැඩසටහන සලකා බැලීමට සෙලාන් බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, යුනියන් බැංකුව සහ එන්.ඩී.බී බැංකුව මේ වනවිටත් සහයෝගය ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර ද අල්විස් මහතා අදහස් දක්වමින්, "රැකියා අවස්ථා ලබාදීම තුළින් රටේ ආර්ථික වර්ධනයට තාක්ෂණික කර්මාන්ත මූලික වෙනවා. නමුත් බොහෝ තාක්ෂණික සමාගම් භෞතික ඇපකරයක් නොමැතිකම හේතුවෙන් ණය ලබාගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටිනවා. කොවිඩ්-19 වසංගතය හමුවේ තාක්ෂණික සමාගම් අභියෝග රැසකට මුහුණ දී ඇති අතර, වර්ධනය යම්දුරකට අඩපණ වී තිබෙනවා. මේ පසුබිම තුළ, PwC සමග එක්ව දියත් කරන ලද නව වැඩසටහන තාක්ෂණික කර්මාන්ත නංවාලීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇති. නව වැඩසටහන සැලසුම් කිරීම සඳහා අප සමග හවුල් වීම ගැනත්, සමස්ත ක්‍රියාවලියම සාර්ථක කර ගැනීම සඳහා මෙහෙයුම් කමිටුවෙන් ලැබෙන උපදේශනය හා මග පෙන්වීම ගැනත් අපි ස්තූතිවන්ත වෙනවා." යැයි පැවසීය.
PWC ශ්‍රී ලංකා ආයතනයේ ගනුදෙනු අධ්යක්ෂ කාවින්ද වීරකෝන් මහතා අදහස් දක්වමින්, "මේ වටිනා මුලපිරුමට PwC ආයතනය සමග සම්බන්ධ වූ ICTA ආයතනයට අපි ස්තූතිවන්ත වෙනවා. මේ වැඩපිළිවෙල සංවර්ධනය කිරීම සඳහා PwC ආයතනය විශේෂ උපදේශන කමිටුවක් සම්බන්ධ කරගෙන තිබෙනවා. ආර්ථිකයේ ඉහළ බලපෑමක් ඇති තාක්ෂණය මත පදනම් වූ ආයතන සංවර්ධනය කිරීම සඳහා නම්‍යශීලි හා නව්‍ය මූල්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් ණයදෙන ආයතන සඳහා මෙම රාමුව උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරනු ඇතැයි කියා අපි බලාපොරොත්තු වෙනවා" යැයි කියා සිටියේය.
ශ්‍රී ලංකා, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘති සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පුරෝගාමී වේ. 2010 සිට (ICTA) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය 'නව්‍ය තාක්ෂණික ව්‍යාපාර පද්ධති සංවර්ධන' (Startup Ecosystem Development) උපායමාර්ගික ව්‍යාපාර ඒකකය මගින් රට තුළ නව තාක්ෂණික ව්‍යවසායක වැඩසටහන් ආරම්භ කිරීම, නව්‍ය තාක්ෂණික ව්‍යාපාරයන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම, මුල් අවධියේ අරමුදල් සැපයීම සහ සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම ලබාදීම අරමුණු කරයි.