ට්‍රිප්ඇඩ්වයිසර් හි "ට්‍රැවලර්ස් චොයිස් 2021"ට අනුව ශ්‍රේණිගත කළ ලොව හොඳම නව සංචාරක හෝටල් 25 අතරට, ශ්‍රී ලාංකේය හෝටලයකුත් ඇතුළත්ව තිබේ.
2019 ජූලි 01 වැනි දින හෝ ඊට පසුව විවෘත කළ විශාල නොවන හෝටල් දාමයන් විශ්ලේෂණය කරන ඇල්ගොරිතමයකින් ලැයිස්තුව තීරණය කර ඇති අතර, ධනාත්මක සමාලෝචන සහ ශ්‍රේණිගත කිරීම් විශාල ප්‍රමාණයක් ඒවාට ලැබී තිබීමද සලකා බලා ඇත.
ඒ අනුව මෙම ලැයිස්තුවෙහි 23 වැනි ස්ථානය නුවර එළියෙහි පිහිටි ARALIYA RED හෝටලය වෙත හිමිව තිබේ. කාමර 300කින් සමන්විතව, මීඳුම් කඳුකරයේ විශ්මයජනක දර්ශනයන්ගෙන් සමන්විත හෝටලයක් ලෙස එය දක්වා ඇති අතර, ට්‍රිප්ඇඩ්වයිසර් හි එක් තෘප්තිමත් අමුත්තෙකුගේ අදහසක්ද පළ කරමින්, "එය නවාතැන් ගැනීමට අපූරු හා සාමකාමී ස්ථානයක්" යැයි සඳහන් කර තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පත්ව ඇත්තේ තුර්කියේ ගුහා ආශ්රයෙන් නිර්මාණය කළ ARINNA CAPPADOCIA සංචරක හෝටලයයි. අති සුඛෝපභෝගී කාමර 10කින් යුතු මෙහි ඇතැම් කාමර සැබෑ ගුහා කාමර වන අතර, තවත් කාමර ගෝරම් නගරයේ වායු බැලූන් දර්ශනයන් මනාව නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති බව සඳහන් කර තිබේ.
ඉන්දියාවේ ARIA RESORT & SPA හැරුණු විට දකුණු ආසියාවෙන් මෙම හෝටල් එකතුවට ශ්‍රී ලංකාවෙන් පමණක් හෝටලයක් තේරීපත්ව ඇත. එමෙන්ම ග්‍රීසිය, වියට්නාමය, ඉන්දුනීසියාව, ඇමෙරිකාව, මෙක්සිකෝව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, මහා බ්‍රිතාන්‍යය, එක්සත් අරාබි එමීරය, දකුණු අප්‍රිකාව, ජපානය, තායිලන්තය, ස්පාඤ්ඤය, බ්‍රසීලය ආදී රටවල සංචාරයක හෝටල්ද මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත්ය.