ජෝන් කීල්ස් සමූහයේ EBITDA අගය රු.බිලියන 18.3 දක්වා දෙගුණ වෙයි
ජෝන් කීල්ස් සමූහය, 2025 සැප්තැම්බර් 30 න් අවසන් වූ කාර්තුව සඳහා සිය මෙහෙයුම් කාර්යසාධනය තුළ ශීඝ්‍ර නැගීමක් වාර්තා කර ඇත. සමූහයේ පොලී, බදු, ක්ෂයවීම් සහ වත්කම් කල්පිරීම් වලට පෙර ඉපැයීම් (EBITDA), පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ රු. බිලියන 8.09 සිට 127% ක වර්ධනයක් අත්කර ගනිමින්, රු. බිලියන 18.36 ක් ලෙස සටහන් විය. 2025/26 මූල්‍ය වර්ෂයේ පළමු භාගය සඳහා සමුච්චිත සමූහ EBITDA අගය, පෙර වසරට සාපේක්ෂව 98% ක වර්ධනයක් සමඟින්, රු. බිලියන 31.33 ක් ලෙස වාර්තා විය.
ව්‍යාපාර අංශ කිහිපයකම පවතින දැඩි සෘතුමය බලපෑම සැලකිල්ලට ගත් විට, මූල්‍ය වර්ෂයේ දෙවන භාගයේ කාර්යසාධනය, පළමු භාගයට වඩා තවදුරටත් යහපත් වනු ඇතැයි සමූහය අපේක්ෂා කරන අතර 2024/25 සම්පූර්ණ මූල්‍ය වර්ෂය සඳහා පුනරාවර්තන EBITDA අගය රු. බිලියන 45.69 ක් විය.
ලාභදායීත්වය සැලකිය යුතු ලෙස ශක්තිමත් වෙමින් මෙම කාර්තුව සඳහා බදු පෙර ලාභය (PBT), පෙර වසරේ වාර්තා වූ රු.බිලියන 2.27 සිට 243%කින් ඉහළ යමින්, රු.බිලියන 7.80ක් ලෙස සටහන් විය. බදු පසු ලාභය (PAT) ද 176%කින් රු.බිලියන 4.20ක් දක්වා වර්ධනය විය. මව් සමාගමේ කොටස් හිමියන්ට ආරෝපිත ලාභය රු. බිලියන 1.65ක් විය (2024/25 දෙවන කාර්තුව: රු.බිලියන 1.37). City of Dreams Sri Lanka සහ JKCG ව්‍යාපෘති හැරවූ විට, මව් සමාගමේ කොටස් හිමියන්ට ආරෝපිත ලාභය, පෙර වසරේ කාර්තුවේ වාර්තා වූ රු.මිලියන 692 ට සාපේක්ෂව, රු.බිලියන 2.61ක් දක්වා වැඩිදියුණු වී ඇත. මෙය, සමූහයේ අනෙකුත් ව්‍යාපාර කළඹ පුරා ද පුළුල් වර්ධනීය ගම්‍යතාවක් පවතින බවට සාක්ෂි දරයි.
සමූහයේ ගමන් මඟ පිළිබඳ විශ්වාසය පිළිබිඹු කරමින්, අධ්යක්ෂ මණ්ඩලය විසින් කොටසකට රු. 0.10 ක පළමු අතුරු ලාභාංශයක් අනුමත කරන ලද අතර, එය පෙර කාලපරිච්ඡේදයේ ගෙවන ලද රු. 0.05 ට සාපේක්ෂව දෙගුණ වීමකි.
මෙම පළමු අතුරු ලාභාංශය සඳහා වන මුළු වියදම රු. මිලියන 826 සිට රු.බිලියන 1.77 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම ඉහළ ලාභාංශ බෙදා හැරීම මගින්, වත්මන් මෙහෙයුම් ගම්‍යතාව මූල්‍ය වර්ෂයේ දෙවන භාගයේදී ද අඛණ්ඩව පවත්වාගෙන යනු ඇතැයි හෝ වැඩිදියුණු වනු ඇතැයි කළමනාකාරිත්වය අපේක්ෂා කරයි.
සමූහයේ ප්‍රමුඛතම ඒකාබද්ධ නිකේතනය වන City of Dreams Sri Lanka, එහි ජාත්‍යන්තර තත්ත්වයේ කැසිනෝව, ඉහළම මට්ටමේ පහසුකම්වලින් සමන්විත Nuwa හෝටලය, සුඛෝපභෝගී ජීවන-රටාව-කේන්ද්‍ර කරගත් සාප්පු සංකීර්ණයේ පළමු අදියර විවෘත කිරීමත් සමඟ, දැන් පූර්ණ මෙහෙයුම් මට්ටමට ළඟා වී ඇත.
ව්‍යාපෘතිය සිය ප්‍රාග්ධන ආයෝජන අදියරෙන් බැහැර වී ඇති බැවින්, තවදුරටත් ව්‍යාපෘති-ආශ්රිත මුදල් පිටතට ගලායාමක් සිදු නොවේ. 2025 අගෝස්තු මාසයේ සිදු වූ නිල දියත් කිරීමේ උත්සවය හා සම්බන්ධ එක්-වරක් සිදු වූ පිරිවැයන් මධ්‍යයේ වුවද, ඉහළ යන හෝටල් කාමර වෙන්කර ගැනීම් සහ සම්මන්ත්රණ හා උත්සව ආදායමේ ශක්තිමත් වර්ධනය හේතුවෙන්, මෙම කාර්තුව තුළ ව්‍යාපෘතිය EBITDA මට්ටමින් ලාභ-අලාභ සමතුලිතතා මට්ටමට ආසන්න වීමට සමත් විය.
සියලුම අංග, සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම සහ වෙන්කර ගැනීම්වල ගම්‍යතාව ගොඩනැගෙමින් පැවතීමත් සමඟ, ජෝන් කීල්ස් සමූහය අපේක්ෂා කරන්නේ මෙම පදනම මත දෙවන අර්ධය තුළ ශක්තිමත් EBITDA වර්ධනයක් අත්කර ගැනීමටයි.
Cinnamon Life හි අද්විතීය සම්මන්ත්රණ සහ උත්සව අවකාශයන් සඳහා දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් සැලකිය යුතු උනන්දුවක් අඛණ්ඩව ලැබෙමින් පවතී. මෙම ඉහළ මට්ටමේ සංවර්ධනය සහ ලෝක මට්ටමේ පහසුකම් නිසාම කොළඹ නගරය, එළඹෙන විදේශ උත්සව කිහිපයක් සඳහා තෝරාගෙන ඇත . 2025 අගෝස්තු මාසයේ ආරම්භ කරන ලද කැසිනෝ ක්‍රිඩාව සඳහා පැමිණෙන පිරිසෙහි වර්ධනයක් සමඟ ක්‍රමානුකූලව වැඩිදියුණු වෙමින් පවතී.
වරාය සහ නාවික අංශයේ, බටහිර බහාලුම් පර්යන්තයේ (WCT-1) කාර්යසාධනය අපේක්ෂාවන් සැලකිය යුතු ලෙස ඉක්මවා ගිය අතර, සැලසුම් කළ ප්‍රමාණයට වඩා ඉහළ බහාලුම් මෙහෙයුම් පරිමාවක් වාර්තා විය. එය මෙහෙයුම් ආරම්භ කළ පළමු සම්පූර්ණ වර්ෂය වුවද, 2025/26 මූල්‍ය වර්ෂය සඳහා ව්‍යාපෘතිය බදු පසු ලාභ (PAT) මට්ටමින් ලාභ-අලාභ සමතුලිතතා මට්ටමට ආසන්න වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වත්මන් ගම්‍යතාව අනුව, WCT-1 හි ව්‍යාපෘති සමාගම වන Colombo West International Terminal, ඉදිරි වර්ෂයේදී සහ ඉන් ඔබ්බට ද, සමූහයේ ලාභදායීත්වයට අර්ථවත් දායකත්වයක් සපයන ආයතනයක් බවට පත්වීමට සූදානමින් සිටී. කීල්ස් සුපිරි වෙළඳසැල් අංශය, නැවුම් සහ සකස් කළ ආහාර දීමනා පුළුල් කිරීම සහ පාරිභෝගිකයින් සඳහාවූ loyalty වැඩසටහන් වැඩිදියුණු කිරීම මගින් මෙහෙයවනු ලැබූ, වෙළඳසැල් හරහා විකුණුම් වර්ධනයක් සමඟින්, කාර්තුව තුළ පාරිභෝගික පැමිණීමේ 19% ක ශීඝ්‍ර වර්ධනයක් වාර්තා කළේය. නව පාරිභෝගික සබඳතා වැඩසටහන් ප්‍රචලිත වීමත් සමඟ මෙම ගම්‍යතාව අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මූල්‍ය සේවා අංශය තුළ, උපායමාර්ගික අවධානය තහවුරු කරමින් කළඹ කළමනාකරණට ක්‍රියාමාර්ග ගන්නා ලදී. ඒ යටතේ, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB), HSBC ශ්‍රී ලංකා හි ව්‍යාපාරික බැංකුකරණ අංශය අත්පත් කර ගැනීම සඳහා නීතිමය බැඳීමක් සහිත ගිවිසුමකට එළඹුණු අතර (මෙය නියාමන අනුමැතීන්ට යටත්ව 2026 පළමු භාගයේදී අවසන් වීමට නියමිතය), යුනියන් ඇෂුවරන්ස් සමාගම, Fairfirst Insurance හි තමන් සතු 22% ක කොටස් හිමිකාරීත්වය Fairfax Asia වෙත අයිතිය අතහැරීම කළේය. එමගින්, යුනියන් ඇෂුවරන්ස් සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම ජාලයක් ක්‍රියාත්මක කරන, සිය ප්‍රධානතම අංශය වන බැංකු රක්ෂණ ඒකාබද්ධ සේවාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත.
පාරිභෝගික ආහාර අංශය 2025/26 දෙවන කාර්තුව සඳහා රු. බිලියන 1.71 ක EBITDA අගයක් (+6% YoY) වාර්තා කළේය. බීම වර්ග ප්‍රමාණය 12% කින්ද, අයිස් ක්‍රීම් ප්‍රමාණය 14% කින් ද ඉහළ ගියේය. කෙසේ වෙතත්, අනාගත වර්ධනය සඳහා සන්නාම ගොඩනැගීම සහ ජාල ව්‍යාප්තියට සහාය වීම සඳහා සිදු කළ ඉහළ ප්‍රචාරණ, ප්‍රවර්ධන, සහ විකුණුම් හා බෙදාහැරීමේ වියදම් හේතුවෙන් ලාභ ආන්තික මෘදු මට්ටමක පැවතුණි.
JKCG (වාහන අලෙවි අංශය), පාරිභෝගිකයින් වෙත භාර දෙන ලද වාහන සංඛ්‍යාව මත පදනම්ව, ශක්තිමත් කාර්තුවක් වාර්තා කළේය. ශ්‍රී ලංකා රේගුව සමඟ පවතින මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් නව ඇණවුම් වෙන්කර ගැනීම්වලට බලපෑම් එල්ල වුවද, ඉදිරි මාසවලදී භාර දීමට නියමිත වාහන 3,800කට අධික, යහපත් ඇණවුම් ප්‍රමාණයක් රඳවා ගැනීමට JKCG සමත් වී සිටී.
සමූහය පුරා සැලකිය යුතු ලෙස ඉහළ ගිය EBITDA අගය, ශුද්ධ මුදල් ප්රවාහයන් අඛණ්ඩව ශක්තිමත් කරයි. 32% ක් වූ ශුද්ධ ණය අනුපාතය (net debt-to-equity ratio), ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වයක් පෙන්නුම් කරයි. ඉහළ මුදල් ඉපැයීම් මත පදනම්ව, 2025 මාර්තු 31 දිනට සාපේක්ෂව ශුද්ධ ණය/EBITDA අනුපාතය තවදුරටත් යහපත් වනු ඇතැයි සමූහය අපේක්ෂා කරයි. ශක්තිමත් ඉල්ලුම් ප්රවණතා සහ යටින් පවතින වර්ධනය, වැඩිදියුණු වන මෙහෙයුම් උත්තෝලනය සහ විනයානුකූල ශේෂ පත්‍ර කළමනාකරණය සමඟින්, 2025/26 මූල්‍ය වර්ෂයේ දෙවන භාගයේදී සහ ඉන් ඔබ්බට ද, අඛණ්ඩ වර්ධනයක් සහ අගය නිර්මාණයක් උදා කිරීමට ජෝන් කීල්ස් සමූහය මනා ලෙස ස්ථානගත වී සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

