ශ්‍රී ලංකාවේ සංචාරය කරන ජර්මානු සංචාරකයන් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සඳහා ජර්මනියේ රූපවාහිනී නාලිකාවක් හා සම්බන්ධව ප්‍රචාරණ වැඩපිළිවෙලක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා පවසයි.
දැනට ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ ජර්මනිය පසුවන බව පැවසූ කිෂූ ගෝමස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජර්මනිය ඇතුළු යුරෝපාකරයෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්, සෙසු රටවල සංචාරකයින්ට සාපේක්ෂව දෛනිකව වැඩි මුදලක් මෙරටදී වියදම් කරනු ලබන බවයි.
"ජර්මනිය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වෙළෙඳ පොළක්. 2018 වසරේ දී ජර්මානු සංචාරකයින් 156,888ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා. මේ අවුරුද්දේ මේ වනවිට ජර්මනියෙන් 93,886ක් ඇවිත් තිබෙනවා. ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් එන රටවලින් ජර්මනිය සිටින්නේ 4 වැනි ස්ථානයේ.
අනෙක් අයට සාපේක්ෂව ජර්මනියෙන් ශ්‍රී ලංකාවට එන සංචාරකයින් වැඩි වශයෙන් මුදල් වැය කරන අය. ශ්‍රී ලංකාවට එන සංචාරකයෙක් දළ වශයෙන් දිනකට ඩොලර් 174ක් වියදම් කරනවා. නමුත් ජර්මනියෙන් සහ යුරෝපාකරයෙන් එන සංචාරකයෙක් ඩොලර් 350 සිට ඩොලර් 1,500 දක්වා වියදම් කරනවා. එම නිසා සංචාරක ව්‍යාපාරයේ අනාගතය ගැන අපි කතා කරනවා නම් එය රැඳිලා තියෙන්නේ විශේෂයෙන් යුරෝපාකරයේ. කුඩා රටක් හැටියට වැඩි වියදමක් කරන සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපි උත්සාහ ගත යුතුයි. ඒ හරහා තමයි සංචාරක ව්‍යාපාරයෙන් බලාපොරාත්තු වන වටිනාකම නිර්මාණය වන්නේ.
ජර්මනියේ ජනගහනය මිලියන 84ක් පමණ වෙනවා. මෙයින් 70%ක් පමණ ප්‍රමාණයක් වාර්ෂිකව නොයෙකුත් රටවල සංචාරය කරනවා. මෙයින් 158,000ක් ශ්‍රී ලංකාවට එනවා කියන්නේ ඉතා සීමිත ප්‍රතිශතයක්. මේ ප්‍රතිශතය වැඩිකර ගැනීමේ හැකියාව අපිට අනිවාර්යයෙන්ම තිබෙනවා. මේ වනවිට සැප්තැම්බර් මාසය දක්වා 1,376,312ක සංචාරකයින් ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට අපට හැකිවුණා. ගිය අවුරුද්දේ මේ වකවානුව වනවිට 1,731,922ක් ඇවිල්ලා තිබෙනවා. ගිය වසරට සාපේක්ෂව 20%ක පසුබෑමක් තිබෙනවා.
ජර්මනි වෙළෙඳ පොළ තුළ ලොකු ආයෝජනයක් කරන්න අපි තීරණය කර තිබෙනවා. අපි මීළඟ සති කිහිපය ඇතුළත ජර්මනියේ තෝරා ගත් රූපවාහිනී නාලිකාවක් සමඟ ප්‍රචාරණ වැඩපිළිවෙලක් පටන් ගන්නවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100 ක් අපි වෙන්කර තිබෙනවා. ඊට අමතරව අපි මහජන සම්බන්ධතා සමාගමක් ජර්මනිය තුල පත්කරන්නට තීරණය කළා. ලබන අවුරුද්දේ සිට අපි කරන ප්‍රචාරණයන් තවත් තීව්ර කරන්නනට ජර්මනිය ඇතුළත් පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා සැලසුම් මේ වනවිට සම්පාදනය වෙමින් තිබෙනවා." යැයි සභාපතිවරයා පවසා සිටියේය.