ශ්‍රී ලංකාවට පසුගිය මාස කිහිපයේ ඇ.ඩො.මිලියන 1,200කට වැඩි ජාත්‍යන්තර ආධාර හිමිවූ බවත්, සති කීපයකට කලින් ලෝක බැංකුව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා ඇ.ඩො.මිලියන 70ක ණය ආධාරත්, මීට අමතරව ඇ.ඩො.මිලියන 152ක් සංවර්ධන ව්‍යාපෘති තුනක් සඳහා ලැබුණු බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ නිකුත් කළ නියෝග සහ සුරාබදු ආඥා පනතට අදාළව හඳුන්වා දුන් වෙනස්කම් පිළිබඳව අද (18දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අවස්ථාවේදී රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් පළ කළේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා,
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැයි මාසයේ ඇ.ඩො.මිලියන 164කුත්, එක්සත් ජනපදය මිලේනියම් චැලේන්ජ් එකවුන්ට් එක යටතේ ඇ.ඩො.මිලියන 480කුත්, මේ පහුගිය සතියේ ආසියානු සංවර්ධන බැංකුව ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණය වෙනුවෙන් ඇ.ඩො.මිලියන 50කුත්, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව(AIIB) කොළඹ නාගරික පුනර්ජනනීය කටයුතු සහ නායයාම් වැළැක්වීම වෙනුවෙන් ඇ.ඩො.මිලියන 280කුත් අනුමත කළා.
මීට අමතරව, AIIBආයතනය සමග අපි බලශක්ති හා මහාමාර්ග අංශ සඳහා අතිරේක ඇ.ඩො.මිලියන 1,000කට ආසන්න සංවර්ධන ආධාර සඳහා සාකච්ඡා පවත්වමින් සිටිනවා. මේ සියලු ජාත්‍යන්තර සහයෝගය සහ ආධාර හිමිවෙන්නේ පුද්ගලික මිත්‍රකම් නිසා නෙමෙයි, අපේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති ගැන තියෙන පැහැදීම නිසයි." යනුවෙන් පවසා සිටියේය.