වර්ධනය වූ ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා ලාෆ්ස් ගෑස් පී.එල්.සී සමාගම, පැය 24 පුරා ක්‍රියාත්මක වෙමින් එල්.පී. ගෑස් සැපයුම දෙගුණයකින් වැඩිකළ බව නිවේදනය කරයි.
සෞදියේ ඇරම්කෝ තෙල් සැකසුම් පරිශ්‍රය වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් පහත වැටුණු ගෑස් සැපයුම නිසා ලාෆ්ස් ගෑස් සැපයුමද කෙටි කාලීනව සීමා වූ බව සමාගම පවසයි.
ඒ අනුව, ඔක්තෝබර් 21 සිට 24 දක්වා සැපයුම අඩු වුවද, ඔක්තෝබර් 26දා සිට සැපයුම දෙගුණයකින් වැඩිකිරීමට නැවතත් සමාගමට හැකිවූ බවත්, සමාගමට අයත් විශාල නෞකා තුන සහ හම්බන්තොට පිහිටි පර්යන්ත පහසුකම් උපයෝගී කරගනිමින් ලාෆ්ස් සමාගම මැදපෙරදිග රටවල් මෙන්ම, අනෙකුත් කලාපීය රටවලින් අවශ්‍ය ගෑස් ප්‍රමාණය ලබාගැනීමට ක්‍රියාකළ බවද ඔවුන් කියයි.
මේ තත්ත්වය තුළ ඉදිරි මාස 4 සඳහා වන පාරිභෝගික ගෑස් ඉල්ලුම හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීමට සමාගම කටයුතු සැලසුම් කර ඇති බවද ලාෆ්ස් ගෑස් පී.එල්.සී. සමාගම පවසයි.
වැඩිවූ ඉල්ලුම සපුරාලීම සඳහා සැපයුම දෙගුණයකින් වැඩි කිරීමට ලාෆ්ස් සමත් වුවද, තරගකාරී ආයතනයන්හි ඇති වූ හිඟයද එල්.පී ගෑස් සඳහා වූ පාරිභෝගික ඉල්ලුම තවත් වැඩි වීමට හේතු වූ බවත්, පාරිභෝගික ඉල්ලුම අඛණ්ඩව හිඟයකින් තොරව සැපයීමෙහිලා ලාෆ්ස් ගෑස් පී.එල්.සී. සමාගම පැය 24 පුරා ක්‍රියාත්මක වන බවත් සමාගම වැඩිදුරටත් පවසයි.