අපේ ගොවි ජනතාවත්, රටේ ආහාර සුරක්ෂිතතාවත් ආරක්ෂා කරගනිමින් රු.6,000ක පොහොර මිටිය, රු.350කට ලබාදෙමින් ගොවිතැනට Policy Support ලබාදුන් රජයකට 'නොමිලේ පොහොර' කියන වචනය තවදුරටත් විජ්ජාවක් නොවන බවත්, එය සැබෑ යථාර්ථයක් බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේය.
ජනාධිපතිවරණ වේදිකාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා නොමිලේ පොහොර ලබාදීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට මුලින් එල්ල වූ විවේචනයත්, පසුව සියලු පොහොර නොමිලේ ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයත් සම්බන්ධයෙන් 'අද' කළ විමසීමකදී හිටපු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
"පොහොර සහනාධාරය වැඩියෙන්ම අපට යොදවන්න සිදුවුණේ තෙල් මිල ඇ.ඩො.145ට විතර ඉහළ ගිය කාලයේ. එකල පොහොර මිල ශීඝ්‍රයෙන් වැඩිවුණා. කි.ග්රෑ.50ක පොහොර මිටියක පිරිවැය රු.6,000කට වැඩිවුණා. කොහොම වුණත්, පොහොර මිටිය රු.350කට ජනතාවට ලබාදීමේ ප්‍රතිපත්තියක් එකල මහින්ද රාජපක්ෂ රජයේ පැවති බව ජනතාවට අදටත් අමතක නැහැ. ඒ වෙලාවෙ, පොහොර මිටිය 350කට ලබාදීම අසීරු බවටත්, එහි මිල වැඩිකළ යුතු බවටත් යම් යම් අදහස් මතු වුණත්, මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, 'පොහොර මිල වැඩි කරන්න එපා, දිගටම රු.350ට දෙන්න' කියලයි.
එතනදි, මේ වෙනුවෙන් අපට විශාල මුදලක් යොදවන්න සිදුවුණා. රු.6,000කට අරගෙන, අපි දුන්නෙ රු.350කට. ඒ කියන්නෙ, සෑම පොහොර මිටියකටම රු.5,650ක පිරිවැයක් රජය දැරුවා. ඒ අවුරුද්දෙ තමයි, පොහොර සහනාධාරය සඳහා වූ මුදල වැඩියෙන්ම ඉහළ ගියේ. නමුත්, අපි එතනදි බැලුවෙ පොහොර සහනාධාරයක් හැටියට නෙමෙයි. ලෝකයේ දියුණු රටවල මේ සඳහා සහනාධාරය කියන වචනය පාවිච්චි කරන්නෙ නැහැ. ඔවුන් කියන්නෙ, Policy Support කියලයි. ඒ කියන්නෙ යම් ප්‍රතිපත්තියක් වෙනුවෙන් අප ලබාදෙන ශක්තියක්.
ඒ නිසා පොහොර නොමිලේ ලබාදෙනවා කියල කියන්නෙ, ගොවි ජනතාවට ලබාදෙන සහනයක් වගේම, රටේ ආහාර සුරක්ෂිතතාව රකින්න අපි ලබාදෙන සහයෝගයක් ලෙසයි, සිතිය යුත්තේ. එකල සෑම පොහොර මිටියකටම රු.5,650ක පිරිවැයක් රජය දරලා, රටේ ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා කරලා, රටේ ගොවීන්ගේ ශක්තිය ඉහළ මට්ටමකට ගෙනල්ලා, අපි Policy Support එකක් ලබාදුන්නා.
නමුත්, දැන් පොහොර මිටියක් රු.2,000ක්, 2,500ක් විතර වෙනවා. එතකොට මේ පොහොර මිටිය නොමිලේ ලබාදුන්නොත් රජයට දරන්න වෙන්නෙ රු.2,500යි. නමුත්, අපි එදා යුද්ධයක් කරන ගමන් ගොවිතැන වෙනුවෙන් රු.5,650ක් දැරුවා. මෙතැන තියෙන්නෙ, දේශපාලනික හා ආර්ථිකමය පැත්තෙන් රජයට මේ දෙය කරන්න උවමනාවක් තියෙනොද? නැද්ද? කියන කාරණයයි. අද එක රුපියල් 5ක්වත් ගොවීන් වෙනුවෙන්, රටේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් යොදවනවාට මේ පාලකයන්ගේ කැමැත්තක් නැහැ. ඒ වෙනුවට, වෙන රටක ගොවියෙකුගේ සාක්කු පුරවන්න පුළුවන් නම් මේ අයට බොහෝම සතුටුයි. එහෙම රට ගැන කැක්කුමක් නැති අය තමයි, මේ පොහොර නොමිලේ දීම ගැන ප්‍රශ්න ඇහුවෙ. පස්සේ එකපාරටම නින්දෙන් ඇහැරිලා වගේ සියලුම පොහොර නොමිලේ දෙනව කියල දැන් කියනවා. එක දෙයයි අහන්න තියෙන්නෙ? මෙච්චර කල් මේ ආණ්ඩුව කළේ වෙන රටක කට්ටියක්ද? කොහොම නමුත්, රට ගැන කැක්කුමක් තියෙන, රට ගැන ආදරයක් සහිත, නිසි වැඩපිළිවෙළක් ඇති නායකයෙකුට පොහොර නොමිලේ ලබාදීම කියන්නෙ, විජ්ජාවක් නෙමෙයි. එය ඉටුකළ හැකි සැබෑ යථාර්ථයක්." යැයි පවසා සිටියේය.