කොමර්ෂල් බැංකුවේ 2025 ණය ලබාදීම් නවමු මානයක් කරා යයි
2025 දී තවත් කාර්යසාධන සන්ධිස්ථානයක් පසුකරමින් කොමර්ෂල් බැංකුව තම ණය පොත රු.ට්‍රිලියන 2 ඉක්මවා ගෙන ගිය මෙරට පළමු පුද්ගලික අංශයේ බැංකුව බවට පත්ව තිබේ.
රුපියල් බිලියන 45 ඉක්මවූ මාසික සාමාන්‍ය අගයක් සමඟ මාස 12ක් තුළදී සිය ණය පොතේ රුපියල් බිලියන 541ක වර්ධනයක් අත් කරගනිමින් ජාතික ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් බැංකුවේ කැපවීම මනාව පිළිබිඹු කර ඇත.
බැංකුවේ ඉතිහාසයේ ඉහළම වාර්ෂික ණය වර්ධනය වාර්තා කරමින් 2025 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා දළ ණය සහ අත්තිකාරම්වල අගය රුපියල් ට්‍රිලියන 2.028ක් දක්වා 36.37% කින් වර්ධනය වූ අතර මුළු වත්කම්වල අගය රුපියල් ට්‍රිලියන 3.258 ක් දක්වා වර්ධනය වූ බව බැංකුව පවසයි. මෙය රුපියල් බිලියන 468ක නැතහොත් 16.78% ක වැඩිවීමක් පෙන්නුම් කරන අතර එම අගය 2024 දී වාර්තා වූ අදාල වර්ධනය මෙන් දෙගුණයකටත් වඩා වැඩි වර්ධනයකි. බැංකුවේ කොටසක ශුද්ධ වත්කම් වටිනාකම 2025 අවසානයේ රු.198.30 දක්වා වර්ධනය විය.
සාපේක්ෂව අඩු පොලී අනුපාත තිබියදීත්, මසකට රුපියල් බිලියන 30කට වඩා සාමාන්‍ය තැන්පතු වර්ධනයක් පිළිබිඹු කරමින් මාස 12 ක කාලසීමාව තුළදී තැන්පතු 16.65% කින් හෙවත් රුපියල් බිලියන 372 කින් වර්ධනය වී වසර අවසන් වන විට රුපියල් ට්‍රිලියන 2.6 ක් බවට පත් ව ඇති බව බැංකුව පවසයි. බැංකු ක්ෂේත්රයේ හොඳම මිනුම් ලකුණක් ලෙස සැලකෙන බැංකුවේ CASA අනුපාතය 2024 දෙසැම්බර් 31 දින පැවති 38.07% සිට 2025 අවසානය වන විට 39.65% ක් දක්වා වැඩි වී ඇත.
2025 වසරේදී බැංකුවේ කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, ෂාර්හන් මුෂීන් මහතා, “කොටස් හිමියන්ගේ වටිනාකම් වර්ධනය කරන මූලිකාංග වන ඉපැයීම් ස්ථාවරව පවත්වා ගැනීමේ හැකියාව, ශේෂ පත්‍රයේ ශක්තිමත් බව සහ විනයානුකූල අවදානම් කළමනාකරණය යන කරුණු කෙරෙහි මෙන් ම පරිණාමය වන පාරිභෝගික සහ වෙළඳපල අවශ්‍යතාවලට නිසි ප්‍රතිචාර දැක්වීම වැනි උපායමාර්ග ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද අපි දැඩිව අවධානය යොමු කර තිබෙනවා. 2025 වසරේ දී අප පෙන්වූ කාර්යසාධනය එම අවධානයේ වටිනාකම මනාව තහවුරු කරනවා” යැයි පවසා සිටියේය.
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා අදහස් දක්වමින්,“වත්කම්වල ගුණාත්මකභාවය සහ ශේෂ පත්‍ර අගයන් ස්ථාවරව පවත්වාගෙන යාමේ හැකියාව ශක්තිමත් කරන අතරතුර, ණය ලබා දීම් වැඩි කරමින් ඩිජිටල් ක්‍රියාකාරකම් වේගවත් කිරීම මගින්, ව්‍යාපාර ව්‍යාප්තිය සහ විනය එකට ගෙනයාහැකි බව අපි 2025 දී සනාථ කළා. පාලනයේ සහ අවධානම්වල ප්‍රමිතීන්ට හානි නොකර, ඵලදායී වර්ධනයටද සහාය වෙමින්, අපි මෙසේ පවතින වටිනාකම් ගොඩනගා ගත්තා” යැයි සඳහන් කළේය.
2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා රුපියල් බිලියන 354.81 ක දළ ආදායමක් වාර්තා කල බව කොළඹ කොටස් වෙළඳපොළට (CSE) සිය වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරමින් බැංකුව පැවසීය. වර්ධන සංඛ්‍යා විකෘති වීම වැළැක්වීම සඳහා 2024 වසරේදී ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (SLISB) ප්‍රතිව්‍යුහගත කිරීමේ බලපෑම් වලට ගැලපීමෙන් පසුව, ලත් අගයට සාපේක්ෂව එය 13.70% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
මෙහිදී, මාස 12 සඳහා පොලී ආදායම 8.91% කින් වර්ධනය වී රුපියල් බිලියන 293.61 ක් වු අතර බැංකුවේ ණය පොතේ සැලකිය යුතු වර්ධනයට මෙමගින් දායක්තවය සැපයීය. පොලී වියදම් රුපියල් බිලියන 157.32 ක් දක්වා 1.47% ක සුළු වර්ධනයක් පෙන්වූ අතර එමගින් බැංකුවට රුපියල් බිලියන 136.29 ක ශුද්ධ පොලී ආදායමක් එනම් 18.97% ක වැඩි වීමක් වාර්තා කිරීමට හැකි විය.
සලකා බලන වර්ෂය සඳහා මුළු මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 184.03 දක්වා 81.87% කින් වර්ධනය වූ අතර බැංකුවේ හානිකරණ ගාස්තු සහ අනෙකුත් පාඩු සඳහා වෙන් කිරීම රුපියල් බිලියන 22.51 ක් විය.
තවද මූල්‍ය සේවා සඳහා බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 106.93 ක් දක්වා පෙර වසරේ සාමාන්‍යකරණය කරන ලද අගයට සාපේක්ෂව 55.55% වර්ධනය විය.
මූල්‍ය සේවා මත පැනවූ බදුවල අගය රුපියල් බිලියන 17.55 ක් දක්වා 10.46% කින් අඩු වීම හේතුවෙන් ආදායම් බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 89.38 ක් දක්වා වර්ධනය විය. 2024 වසරට අදාල සාමාන්‍යකරණය කරන ලද අගයට සාපේක්ෂව එය 56.95% ක වර්ධනයක් විය.
ආදායම් බදු අගය රුපියල් බිලියන 30.89 ක් දක්වා 25.50% කින් අඩු වීම තුලින් දළ ආදායම රුපියල් බිලියන 58.49 ක් වූ අතර එය, 2024 වසරේ සාමාන්‍යකරණය කරන ලද අගයට වඩා 44.05% ක වර්ධනයකි.
සහකාර සමාගමක් හා අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය රුපියල් බිලියන 92.79 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කළ අතර බදු ගෙවීමට පසු රුපියල් බිලියන 60.94 ක ලාභයක් වාර්තා කළේය. එය 9.43% ක වැඩි වීමකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
