කොටස් වෙළෙඳපොළ ආයෝජක හමු මොනරාගල සහ මඩකලපුවේදී
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව මෙම මස මුලදී කොළඹදී සාර්ථකව පවත්වන ලද හමුවලින් අනතුරුව, ආයෝජක සහභාගීත්වය පුළුල් කිරීම සඳහා දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ලෙස, මෙම සතියේදී මොනරාගල සහ මඩකලපුව යන නගරවලදී ආයෝජක හමු දෙකක් පැවත්වීමට නියමිතය.
මෙම ආයෝජක හමු, ජූලි 16 වනදා පෙවරු 11:00 සිට පස්වරු 1:00 දක්වා මොනරාගල සිලන්රිච් හෝටලයේදී ද, ජූලි 18 වනදා පස්වරු 3:00 සිට පස්වරු 5:00 දක්වා මඩකලපුව එෆ්ජී ගෝල්ඩන් රිවර් හෝටලයේදී ද පැවැත්වෙනු ඇත.
මොනරාගල ආයේජක හමුව සිංහල මාධ්‍යයෙන් ද, මඩකලපුව ආයේජක හමුව දෙමළ මාධ්‍යයෙන් ද පවත්වනු ඇත. කොටස් වෙළඳපොළේ හෝ ඒකක භාර හරහා ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම ආයේජක හමු ද්විත්වය සඳහාම නොමිලේ සහභාගී විය හැකිය.
ආයෝජනය කිරීමට කැමති පිරිස් වෙත ගිණුම් ආරම්භ කිරීම සඳහා කොටස් තැරැව්කාර සමාගම් සහ ඒකක භාර නියෝජිතයන් ආයේජක හමුව ආරම්භ වීමට පෙර අදාළ ස්ථානවල රැඳී සිටිනු ඇත. එදිනම ගිණුම් ආරම්භ කරන පළමු සහභාගිවන්නන් දෙසීය දෙනා වෙනුවෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව මඟින් පිරිනමනු ලබන ආයෝජන කූපන් පත් හිමි කර ගැනීමට ද අවස්ථාව පවතී.
මෙහිදී කොළඹ කොටස් හුවමාරුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම ප්රමුඛ පෙළේ කොටස් තැරැව්කාර සමාගම් සහ ඒකක භාර සමාගම්වල නියෝජිතයන් විසින් මෙහෙයවනු ලබන දේශන සහ සාකච්ඡා පැවැත්වෙන අතර, එමඟින් අනාගත ආයෝජකයන් වෙත ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළේ සියලුම පාර්ශ්වකරුවන් එකම වහලක් යටට ගෙන එනු ඇත.
දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි පිහිටුවා ඇති කොළඹ කොටස් හුවමාරුවේ ශාඛා දහතුනක් හරහා ව්‍යාප්ත වී ඇති ප්‍රාග්ධන වෙළඳපොළ ජාලය මෙම ආයෝජක හමු සඳහා මනා පිටුවහලක් වේ.
මෙම හමුව පැවැත්වෙන්නේ පසුගිය වසර හය පුරා ප්‍රාග්ධන වෙළඳපොළේ සුවිශේෂී වර්ධනයක් වාර්තා වෙමින් පවතින පසුබිමකය. එහිදී 2020 මැයි මාසයේදී ඒකක 4,846ක් ලෙස පැවති සියලු කොටස් මිල දර්ශකය, 2026 මැයි මාසය අවසන් වන විට ඒකක 22,310.80ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය සියයට 360ක වර්ධනයක් වන අතර ආසන්න වශයෙන් සියයට 28.98ක සංයුක්ත වාර්ෂික වර්ධන අනුපාතිකයකි. තවද මෙහිදී ලැබෙන ප්‍රාග්ධන ලාභ සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස්ව පවතී.
මේ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවිය හරහා මොනරාගල සහ මඩකලපුව හමු සඳහා ලියාපදිංචි විය හැකි අතර, මොනරාගල ආයෝජක හමුව සඳහා 057 2051279 හෝ 070 2761883 යන දුරකථන අංක මඟින් ද, මඩකලපුව හමුව සඳහා 075 603 8115 හෝ 078 178 4076 යන දුරකථන අංක මඟින් ද තොරතුරු විමසිය හැකිය.
මෙම ආයෝජක හමු මාලාව, මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සහ වර්ධනය වෙමින් පවතින ආයෝජක පදනම තවදුරටත් පුළුල් කිරීම සඳහා දීපව්‍යාප්තව සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවක කොටසක් වන අතර, එමඟින් ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි ස්වභාවය ප්‍රදර්ශනය කිරීම සහ කොළඹ කොටස් හුවමාරුවේ දීපව්‍යාප්ත ශාඛා ජාලය හරහා එහි සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීම අපේක්ෂා කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
