ඉන්දියා - ශ්‍රී ලංකා විදුලිබල ජාල සම්බන්ධතාව ගැන අතථ්‍ය හමුවක්
ඉන්දියා - ශ්‍රී ලංකා විදුලිබල ජාල අන්තර් සම්බන්ධතාවයට අදාළ කරුණු කාරණා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් 2025 ඔක්තෝබර් 30 වැනි දින අතථ්‍ය ආකාරයෙන් පවත්වා තිබේ.
එහිදී, ඉන්දීය දූත පිරිසේ ප්‍රධානත්වය ඉන්දීය රජයේ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී පංකජ් අගර්වාල් මහතා විසින්ද, ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානත්වය ශ්‍රී ලංකා රජයේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග මහතා විසින්ද දරන ලදී.
ඒ අනුව, විදුලිබල ජාල ව්‍යාපෘතියට අදාළ කරුණු කාරණා ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ විවිධ පැතිකඩ දෙපාර්ශ්වය මෙහිදී සාකච්ඡා කර ඇත. 2025 ජූනි 16 වැනි දින දිල්ලියේ පැවති හමුවක් අතරතුරදී දෙපාර්ශ්වය විසින් ඉන්දියා - ශ්‍රී ලංකා විදුලබල ජාල අන්තර් සම්බන්ධතාවයේ තාක්ෂණික පරාමිතීන් තහවුරු කර තිබේ.
සම්ප්‍රේෂණ මාර්ගය හරහා ශ්‍රී ලංකාවට විදුලිය හිඟ අවස්ථාවලදී විදුලිය ආනයනය කිරීමටත්, පුනර්ජනනීය විදුලිය අපනයනය කර විදේශ විනිමය ඉපැයීමටත් හැකිවනු ඇත. එසේම, ඒ තුළින් අපනයන සහ බලශක්ති මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීමට, විදුලිබල ජාල ස්ථායිතාවය වැඩි දියුණු කිරීමට සහ කලාපීය විදුලිබල වෙළඳපොළ හා ඒකාබද්ධ වීමට නව අවස්ථාද උදාවනු ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය ඉදිරියේදී වැඩිදුර සාකච්ඡාවන්හි නිරත වනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                