ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවන් වන CGS සමර් සහ ආර්යමන් ඊයේ (01දා) දිනයේදී ශ්‍රී ලංකා සංචාරයක් ආරම්භ කළ අතර, ඒවා ලබන 07දා දක්වා මෙරට රැඳී සිටී.
මෙම නෞකා කොළඹට පැමිණියේ 2018 නොවැම්බර් මස 25 සිට 29 දක්වා මාලදිවයිනේ පැවති “දෝස්ති” (Dosthi) නමැති ඉන්දියා - ශ්‍රී ලංකා - මාලදිවයින් ත්‍රෛපාර්ශ්වීය වෙරළාරක්ෂක අභ්‍යාසයෙන් අනතුරුවය.
2018 නොවැම්බර් මස 23 වැනි දින ඉන්දියාවෙන් ගමන් ඇරඹි මෙම නෞකා සංචාරයට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ කණිෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුද එක් වී සිටින අතර, එමගින් ඔවුන්ට වැදගත් සමුද්‍රීය අත්දැකීමක්ද වෙරළාරක්ෂක මෙහෙයුම් පිළිබඳ මනා දැනුමක්ද ලබා ගත හැකි බව කියයි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ මෙම නෞකා ගාල්ලේ සංචාරය කිරීමටද නියමිතය.