ඇමෙරිකානු කම්කරු තීරුබදු අඩු කිරීම වාණිජ මණ්ඩලයේ ඇගයුමට
ඇමෙරිකා එක්සත් ජනපදය වෙත යවන ශ්‍රී ලාංකේය අපනයන සඳහා පනවා තිබූ කම්කරු පාදක තීරුබද්ද (labour-related tariff) සියයට 12.5 සිට සියයට 10 දක්වා අඩු කිරීමට පියවර ගැනීම ලංකා වාණිජ මණ්ඩලයේ ඇගයීමට ලක්ව තිබේ. ශ්‍රී ලංකා බලධාරීන් සහ ඇමෙරිකානු පාර්ශ්වයන් අතර පැවැති අඛණ්ඩ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම යහපත් ප්‍රගතිය අත්කර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයට මෙය ඉතා දිරිගන්වනසුලු පියවරක් වන අතර, ජාත්‍යන්තර වෙළෙඳ පාර්ශ්වකරුවන් සමඟ පවත්වන ඵලදායී සංවාද, සාක්ෂි පාදක කරගත් නියෝජනයන් සහ පූර්වගාමී මැදිහත්වීම්වල ඇති වටිනාකම මෙයින් පිළිඹිඹු වන බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි. අධික තරගකාරී සහ අවිනිශ්චිතතාවලින් පිරි ගෝලීය වෙළෙඳපොළ තුළ කටයුතු කරන අපනයනකරුවන්ට මෙම තීරුබදු අඩු කිරීම යම් සහනයක් ගෙනදෙනු ඇති අතර, වෙළෙඳපොළ ප්‍රවේශය පවත්වා ගැනීමට සහ තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රී ලංකාව දරන පුළුල් උත්සාහයට ද මෙය සහයක් වනු ඇත.
පසුගිය ජූනි මස මුලදී මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කළේ, යෝජිත කම්කරු තීරුබදු පියවරයන් ශ්‍රී ලංකාවේ වෙළෙඳ තරගකාරීත්වයට එල්ල කළ හැකි බලපෑම පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවයි. එමෙන්ම අදාළ පාර්ශ්වකරුවන් සමඟ වහාම සාකච්ඡා ආරම්භ කරන ලෙස ද මණ්ඩලය එවකට ඉල්ලා සිටියේය.
එබැවින්, මෙම සාකච්ඡා මෙහෙයවූ කණ්ඩායම අත්කරගත් ප්‍රගතිය අගය කරන ලංකා වාණිජ මණ්ඩලය, මෙම සාකච්ඡා අතරතුර පෞද්ගලික අංශයේ අදහස් සහ ගැටලු නිසි පරිදි නියෝජනය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳවද සිය ප්‍රසාදය පළ කරයි.
මෙම ජයග්‍රහණය සාදරයෙන් පිළිගන්නා අතරම, අපනයනකරුවන්ට එල්ල වන අවිනිශ්චිතතාව අවම වන පරිදි සහ ස්ථාවර වෙළෙඳ සබඳතා ප්‍රවර්ධනය වන පරිදි දිගුකාලීන රාමුවක් සකස් කරගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ දිගටම ඵලදායී ලෙස කටයුතු කිරීමේ වැදගත්කමද ලංකා වාණිජ මණ්ඩලය අවධාරණය කරයි. මෙම ප්රයත්නයන් සක්‍රීයව පවත්වා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරීත්වය තවදුරටත් ඉහළ නැංවීමටත් රජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට සූදානම් බවද මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

