මෙතෙක් කලක් උපාධිධාරීන්ට කඳුළු ගෑස් පමණක් උරුම කළ ආණ්ඩුවක්, රට වැසියාගේ සහ බදු ගෙවන්නන්ගේ මුදලින් වාසියක් ලබමින්, කඩිමුඩියේ උපාධි පත්වීම් දහස් ගණනක් ලබාදෙන්නේ මැතිවරණයක් ඉලක්ක කරමින් මිස රටේ සමස්ත ජනතාවගේ පොදු යහපත වෙනුවෙන් නොවන බව සක්සුදක් සේ පැහැදිලි යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරයි.
රජය විසින් රැකියා විරහිත උපාධිධාරීන් 16,800කට කඩිමුඩියේම රජයේ රැකියා පත්වීම් ලබාදීම නිවැරදි කළමනාකරණයකින් යුතුව රටක් පාලනය කිරීමේදී කොතරම් දුරට සාධනීය වැඩපිළිවෙළක් දැයි ප්‍රශ්න කරමින් හිටපු අධිපතිවරයා 'අද ව්‍යාපාරික පිටුවට' මෙසේ අදහස් දැක්වීය. එහිදී, වැඩිදුරටත් කතාකළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
"අවුරුදු හතරහමාරක් තිස්සේ මේ රජයට උපාධිධාරීන් සහ විශ්වවිද්‍යාල සිසුන් සමග තිබූ එකම සම්බන්ධය නම් ඔවුන්ට සතියකට වරක්වත් බැටන් පොලුවලින් පහරදී, ජල කැනන්වලින් පීඩාවට පත්කොට, කඳුළු ගෑස් ගැසීම පමණයි. එහෙත් හදිසියේම අගමැති කාර්යාලය විසින් උපාධිධාරීන් 16,800කට රැකියා ලිපි ලබාදෙනවා යැයි පසුගියදා ප්රකාශනයක් නිකුත් වුණා. මේ යෝජිත ක්‍රියාව පිටුපස ඇති එකම හේතුව එළැඹෙන මැතිවරණය බව ඕනෑම කෙනෙකුට අතිශයින්ම පැහැදිලියි. ඒ ක්‍රියාවෙන් මේ රජය බලාපොරොත්තු වන්නේ මැතිවරණයේදී මේ රැකියාලාභීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලබාගැනීම බව අමුතුවෙන් විග්රහ කළ යුතු වන්නේ නෑ.
වත්මන් රජයේ සාමාන්‍ය ක්රියාපරිපාටිය දෙස බලන ඕනෑම කෙනෙකුට මෙවැනි ක්‍රියාවක් මේ රජයෙන් පැහැදිලිවම අපේක්ෂා කළ හැකි බව වැටහෙනවා. පසුගිය අවුරුදු කිහිපය තුළදීම මේ අය සිදුකර ඇති එකම සාර්ථක ක්‍රියාව, හැකිතාක් බොරුකීම සහ ජනතා මුලා කිරීම පමණයි. මේ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්නා වූ ප්‍රයත්නයෙන්ද ඔවුන් කරන්නේ ඔවුන්ගේ සුපුරුදු න්‍යාය පත්‍රයට අනුව ක්‍රියා කිරීම මිස ජනතා සුබසිද්ධියක් නොවන බව සක්සුදක් සේ පැහැදිලියි.
විශේෂයෙන්ම, රැකියා අවස්ථා ලබාදීම යම් ක්රියාපරිපාටියකට හෝ ක්‍රමවේදයකට අනුව, පවතින ඇබෑර්තු සලකා බැලීමෙන් කළ යුතු ක්‍රියාවක් බව සඳහන් කළ යුතුයි. එහෙත්, කඩිමුඩියේ මෙවැනි ක්‍රියාවකට යොමු වන්නේ එවැනි වෘත්තිමය පසුබිමක් හරහා නොවෙයි. මේ අවස්ථාවේදී වතමන් රජයට තිබෙන එකම අරමුණ, ඉදිරියේදී එළැඹෙන මැතිවරණය පමණයි. මෙලෙස මැතිවරණයක් ඉලක්ක කරගනිමින් පක්ෂයට සහාය ලබාගැනීම සඳහා රට වැසියාගේ සහ බදු ගෙවන්නන්ගේ මුදලින් වාසියක් ලබාගැනීමට තැත්කිරීම අතිශයින්ම පිළිකුල් සහගත ක්‍රියාවක් මෙන්ම, සමස්ත ජනතාවගේ සහ උපාධිධාරීන්ගේද ඇස්වලට වැලි ගැසීමක් බව අවධාරණය කළ යුතුයි." යනුවෙන් පවසා සිටියේය.