අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් අපනයනකරුවන්ට සහායක්
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන අංශයට සිදුවූ බලපෑම අනුව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් කඩිනම් සහන සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
ඒ සඳහා වන සාකච්ඡාවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේ පරිශ්‍රයේදී පැවැත්වූ අතර ඒ සදහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, වැඩ බලන අධ්යක්ෂ ජනරාල් එරන්දික දිසානායක, වැඩ බලන අතිරේක අධ්යක්ෂ ජනරාල් කුමුදිනී මුදලිගේ, වෙළෙඳ පහසුකම් හා වෙළෙඳ තොරතුරු අංශයේ අධ්යක්ෂ ආචාර්ය සංජීව රත්නසේකර මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අපනයනකරුවන් සහභාගී වූහ.
අයහපත් කාලගුණික තත්ත්වයෙන් වඩාත්ම බලපෑමට ලක් වූ අපනයනකරුවන්ගේ සවිස්තරාත්මක හානි තක්සේරු කිරීම් අපනයන සංවර්ධන මණ්ඩලය දැනටමත් ආරම්භ කර ඇති අතර, මෙම තක්සේරු කිරීම් අපනයන අංශයට අවශ්‍ය ඉලක්කගත සහන මැදිහත්වීම් සඳහා මඟ පෙන්වනු ඇත.
අපනයන අංශය මුහුණ දෙන ක්ෂණික අභියෝග විසඳීම සඳහා උපායමාර්ගික මැදිහත්වීම් ක්‍රියාත්මකව සිදු කරමින් පවතින බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය. මෙම ක්‍රියාමාර්ග අපනයන මෙහෙයුම්වලට සිදුවන බාධා අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර ජාත්‍යන්තර වෙළඳපොළට භාණ්ඩ හා සේවා අඛණ්ඩව ලබා දීම සහතික කරයි. තවද, නිෂ්පාදන ධාරිතාවට සිදුවන අහිතකර බලපෑම් අවම කිරීමට සහ අපනයනකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වා ගැනීමේ හැකියාව ආරක්ෂා කිරීමට උත්සාහ දරනු ලබයි. කාර්යක්ෂම නිෂ්පාදන හා අපනයන ක්‍රියාවලියක් සඳහා බාධාවකින් තොරව කටයුතු කිරීමත් බිඳ වැටුණු සැපයුම් දාම නැවත සක්‍රිය කිරීමත් ප්‍රමුඛතාවයකි. මෙම ඉලක්කගත ක්‍රියාමාර්ග හරහා අපනයන සංවර්ධන මණ්ඩලය අපනයන වර්ධනය තිරසාර කිරීමට සහ කෙටිකාලීන බාධකවලට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට අපේක්ෂා කරයි.
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇති වූ යටිතල පහසුකම් ප්‍රමාදයන් කළමනාකරණය කිරීමට සහ අපනයන සම්බන්ධ නිෂ්කාශන ක්‍රියාවලිය වේගවත් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය මේ වන විට රේගු, වරාය බලධාරීන් සහ සැපයුම් දාම සේවා සපයන්නන් සමඟ සමීපව කටයුතු කරමින් සිටී.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) මෙහෙයුම් ශක්තිය ඉක්මනින් නැවත සක්‍රිය කිරීමට සහාය වීම සඳහා රජයේ විශේෂ අවධානය මේ වනවිට යොමු කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

