අයහපත් කාලගුණය මධ්‍යයේ පවා හම්බන්තොට වරාය අඛණ්ඩව වැඩ
ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ගංවතුර තත්ත්වය හේතුවෙන්, ජාතික යටිතල පහසුකම් දැඩි ලෙස අඩපණ වී කොළඹ වරායේ මෙහෙයුම් අත්හිටුවීමට සිදුවිය. මෙවන් තත්ත්වයක් මැද වුවද හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) නිරතුරුව ක්‍රියාත්මක වීම, රටේ දෙවන ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානය ලෙස එහි ස්ථාවරය වඩාත් සවිගන්වයි.
හම්බන්තොට ප්‍රදේශය කුණාටුවේ සෘජු මාර්ගයෙන් පිටත පිහිටා තිබීම නිසා, තද වැසි මධ්‍යයේ වුවද වරාය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි විය.
"අයහපත් කාලගුණය හම්බන්තොටට යම් දුරකට බලපෑවත්, කොළඹ සහ බටහිර වෙරළ තීරයට වඩා යහපත් තත්ත්වයක් තිබුණා" යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) වාණිජ හා අලෙවිකරණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බින්දු රණසිංහ මහතා පැවසීය. "අපගේ මෙහෙයුම්, නැව් හැසිරවීම්, නාවික සේවා, ආරක්ෂක යන සියළුම අංශයන්හි කණ්ඩායම් සහ බාහිර සේවක පිරිස්ද, දුෂ්කර තත්වය තුළ ඉතාමත් කැපවීමෙන් වගකීමෙන් ඔවුන්ගේ කාර්යයන් නොනවත්වා ඉටු කළා. ඔවුන්ගේ ඒ කැපවීම නිසා, අයහපත් කාලගුණය පුරා කිසිඳු අත්හිටුවීමකින් තොරව, අඛණ්ඩව 24/7 ක්‍රියාත්මක වීමට වරායට හැකිවුණා. ඕනෑම බඩු තොග කාණ්ඩයක් හැසිරවිය හැකි, දෙවන ජාත්‍යන්තර වරායක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවා තිබීමේ වටිනාකම, පසුගිය සතියේ පැහැදිලිව දක්නට ලැබිනි. බටහිර වෙරළ තීරයේ ඇති වූ බාධා හේතුවෙන් රට තුළ අනෙකුත් වරායන් නොයෙකුත් කාලගුණික අවහිරයන්ට මුහුණ දෙන අතරේ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය විශ්වාසදායක විකල්පයක් වීම, එහි වැදගත්කම තවදුරටත් තහවුරු කරයි. “බහාලුම්, RORO තොග, තෙල් සහ ගෑස් භාණ්ඩ ප්‍රවාහන සේවා යන සියල්ලක්ම, අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුවද සැපයීමට HIP සතු හැකියාව, එය අතිශයින් වැදගත් ජාතික සම්පතක් බවට නිශ්චිත සාධකයක්" යැයි රණසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ වරායේ නැංගුරම් ලෑමට නොහැකි වූ LPG නෞකාවක් මුදල් අමාත්‍යාංශයේ සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ උපදෙස් මත LAUGFS සමාගමේ ඉල්ලීම පරිදි, HIP වෙත යොමු විය. ඒ අනුව PGC PATRES නම් LPG ප්‍රවාහන නෞකාවේ ගොඩබෑම් කටයුතු සහ මෙහෙයුම් HIP විසින් හසුරුවන ලදී.
ලොවපුරා වරායන් වර්ෂා තත්වයන්හිදී තොග මෙහෙයුම් නතර කිරීම සාමාන්‍ය වුවද, මෙහෙයුම් නතර කිරීමට තරම් සැලකිය යුතු මන්දගාමීත්වයක් HIP හට නොවීය. ආරක්ෂාව සඳහා සුළු වෙනස්කම් කිහිපයක් හැර, බහාලුම් සහ RORO හැසිරවීම දිගටම පැවතුනි. HIP හි ආවෘත ගබඩා පද්ධතිය හේතුවෙන් තොග මෙහෙයුම්ද අඛණ්ඩව සිදු විය. නාවික සේවා කණ්ඩායම්ද, නෞකා පැමිණීමේ සහ පිටත්ව යාමේ කටයුතු ආරක්ෂිතව සහ ප්‍රමාදයෙන් තොරව සිදුකර ඇත.
එමෙන්ම වරායේ තොග භාණ්ඩ ප්‍රවාහන පරිමාවන්ද වාර්තාගත මට්ටම් කරා ළඟා වනු ඇතැයි ප්‍රක්ෂිප්ත කර ඇති අතර, HIP හි මුළු TEU ප්‍රමාණය දැනටමත් පසුගිය වසරේ සංඛ්‍යාලේඛනයන්ට වඩා අට ගුණයක් ඉක්මවා තිබේ. 2025 වසර වරායේ ප්රශස්ත මෙහෙයුම් වසරක් ලෙස අවසන් වනු ඇතැයි HIPG හි ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා, තහවුරු කළේය.
පසුගිය සතියේ සිදුවීම්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය, ඕනෑම කාලගුණ තත්ත්වයකදී රටෙහි ආනයන, අපනයන, බලශක්ති සහ සැපයුම් අවශ්‍යතා සඳහා බාධාවකින් තොරව සහාය වන විශ්වාසදායක, පහසුකමක් ලෙස සහතික වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

