ශ්‍රී ලංකාව තුළ උතුරු නැඟෙනහිර ප්‍රදේශ ඇතුළුව සමස්ත රටම ආවරණය වන පරිදි අපනයන සැකසුම් සහ අපනයන සේවා සපයන ගම්මාන 5000ක් පිහිටුවීමට උපදෙස් ලබාදුන් බව ජාත්‍යන්තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ අද (25දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ඉතාම කෙටි කාලයකදී ශ්‍රී ලංකාව තුළ උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇතුළුව සමස්ත රටම ආවරණය වන පරිදි අපනයන සැකසුම් සහ අපනයන සේවා සපයන ගම්මාන 5000ක් ඇති කරන්න උපදෙස් ලබාදී තිබෙනවා. මේ තුළින් ගමද සම්බන්ධ කරමින් අපනයන ව්‍යවසායකයින් පිරිසක් බිහි කරනවා. අප බිහි කරන්නේ කුලී ගොවියන් නොවෙයි. ගැමියන්ගේ දායකත්වය වැඩි නවීකරණය වූ සමාගමක් ගම තුළ සකස් වෙනවා. අපනයන වෙළෙඳ පොළ ගම සම්බන්ධ වන වැඩපිළිවෙලක් ඒ අනුව සකස් වෙනවා. ගම සෘජුව අපනයන වෙළෙඳ පොළට අපනයන සංවර්ධන මණ්ඩලය හරහා ඒකාබද්ධ කිරීමේ වැඩසටහනක් සකස් කිරීම සඳහා උපදෙස් ලබාදී තිබෙනවා" යැයි පවසා සිටියේය.