අපනයන අංශය 2025 මුල් කාර්තු තුනට ඇ.ඩො.බි. 13ක ආදායමක්
ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇ.ඩො.මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කර තිබේ.
මෙය 2024 අදාල කාලය හා සසඳන විට සියයට 7ක වැඩිවීමකි. 2025 සැප්තැම්බර් මාසයේදී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන සහ සේවා අපනයන යන දෙකම ඇතුළත් සමස්ත අපනයන ඇ.ඩො.මිලියන 1,469.75ක් දක්වා ළඟා වී ඇත. එය 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 12.33ක වර්ධනයකි. මෙමගින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද උපාය මාර්ගවල ඵලදායීතාව පෙන්නුම් කරයි.
අපනයන අංශයේ ධනාත්මක ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, "අපනයන ක්ෂේත්රයේ වර්ධනය මගින් ගෝලීය වෙළඳාමට ශ්‍රී ලංකාව ගැඹුරින් ඒකාබද්ධ වීම සහ අපනයන තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට සහ වෙළෙඳපොළ අවස්ථා විවිධාංගීකරණය කිරීමට අප ගන්නා අඛණ්ඩ උත්සාහයන්ගේ සාර්ථකත්වය පිළිබිඹු කරනවා. ගෝලීය අභියෝග හමුවේ අපගේ අපනයනකරුවන් නැවත වරක් කැපී පෙනෙන ස්ථාවරත්වය පෙන්නුම් කර තිබෙනවා. 2025 සැප්තැම්බර් වන විට සමස්ත අපනයන ආදායම ඇ.ඩො.බිලියන 13ට ළඟාවීම අපගේ අපනයන ප්‍රජාවගේ ශක්තිය සහ අධිෂ්ඨානය සනාථ කරන සාක්ෂියක්. තුන්වැනි කාර්තුව අවසන් වනවිට අපගේ වාර්ෂික අපනයන ඉලක්කයෙන් සියයට 72කට වඩා දැනටමත් අත්පත් කරගෙන ඇති හෙයින් අඛණ්ඩ සහයෝගීතාව සහ උපායමාර්ගික ක්‍රියාමාර්ග තුළින් ශ්‍රී ලංකාව 2025 අපනයන ඉලක්කයට සාර්ථකව ළඟා වන බවට අපි විශ්වාසයෙන් සිටිනවා." පවසා සිටියේය.
මැණික් ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තු ආදායම ඇතුළුව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ තාවකාලික දත්ත වලට අනුව 2025 සැප්තැම්බර් මාසයේදී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 15.02ක වර්ධනයක් ලබා ඇ.ඩො.මිලියන 1,163.66ක් දක්වා ළඟා විය. 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය සඳහා වෙළඳ භාණ්ඩ අපනයන ඇ.ඩො.මිලියන 10,240.52ක් වූ අතර, එය 2024 එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 7.59ක වැඩිවීමකි.
මේ අතර, සේවා අපනයන සමස්ත අපනයන වර්ධනයේ ප්‍රධාන බලවේගයක් ලෙස මතු වී ඇත. 2025 සැප්තැම්බර් මාසයේදී, සේවා අපනයන මගින් ලැබෙන ආදායම ඇ.ඩො.මිලියන 306.09ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. වසරේ පළමු කාර්තු තුන පුරා සේවා අපනයන සියයට 4.48ක වැඩිවීමක් ලබා ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, එය ඇ.ඩො.මිලියන 2,746.03ක් වේ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂ්‍රේත්‍රය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදු කරයි
මෙම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඇති අතර, 2025 සැප්තැම්බර් මාසය සඳහා සේවා අපනයන, මැණික් ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන සංඛ්‍යා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රතිපත්ති හා උපායමාර්ගික සැලසුම් අංශය මගින් ඇස්තමේන්තු කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

