ලබන වසරේ සිට ඉදිරි පස් වසර තුළ 7.5%ක ආර්ථික වර්ධන වේගයක් ඇති කරන බවට වත්මන් අගමැතිවරයා සිදුකර ඇති ප්‍රකාශය, පසුගිය රජයේ ණයබරතාව නිසා තමාට රට ගොඩගත නොහැකි වූවා යැයි පුන පුනා සිදුකරන ප්‍රකාශය මෙන්ම සම්පූර්ණයෙන් අසත්‍යයක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේය.
අගමැතිවරයා පසුගිය 30දා රජයේ සංවර්ධන වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීමට පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස් සම්බන්ධයෙන් හිටපු අධිපතිවරයා මෙම අදහස් මතු කළේය.
"2015 දී තමා භාරගත්තේ විශාල ණයබරතාවක් සහිත ණය ගෙවාගත නොහැකි ආර්ථිකයක් බව පවසමින් වත්මන් අගමැතිවරයා සිදුකරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මොකද, දත්ත විශ්ලේෂණයේදී එතුමා භාරගත් ආර්ථිකයේ ණයබරතාව තිබුණේ 71%කට බව බොහොම පැහැදිලියි. නමුත්, ඔවුන්ගේ මහා ආර්ථික විප්ලවයේ මහිමයෙන් අද ඒ ණයබරතාව 100%කට වැඩි කරලා. රටක ණයබරතාව 100%ක මට්ටමට ගමන් කරනවා කියන්නෙ, බොහෝම දරුණු, ඉතා අවදානම් මට්ටමකට රටේ ආර්ථිකය ගිහින් කියන එකයි. එසේ නම්, මේ ණයබරතාව ජනතාවට මහා බරක් ඇතිකර තිබෙන්නේ කාගේ පාලන සමයේද යන්න ජනතාව දන්නවා. ඔවුන් එය තේරුම් අරන් අවසානයි.
ඒත් සමගම වත්මන් අගමැතිවරයා විසින් ලබන වසරේ සිට ඉදිරි පස් වසර තුළ 7.5%ක ආර්ථික වර්ධන වේගයක් ඇති කරන බව කියා තිබෙනවා. විශේෂයෙන්ම, ඉදිරි රජයකද තවදුරටත් අගමැති තමන්ම යැයි කියා ගනිමින් සිදුකර ඇති මේ ප්‍රකාශය, මේ දක්වා මේ අතිශය අසාර්ථක හා අදක්ෂ ආණ්ඩුව ආර්ථිකය හසුරුවමින් රට වළපල්ලට තල්ලු කළ ආකාරය දෙස බලන විට සම්පූර්ණයෙන්ම විහිලු ප්‍රකාශයක්. සමහර විට 7.5%ක 'සෘණ' ආර්ථික වර්ධන වේගයක් ගැන වෙන්න ඕනෙ එතුමා සඳහන් කරන්නෙ. මොකද දැනට ඇති සාර්ව ආර්ථික සාධක, මේ ප්‍රතිපත්ති තුළම අරගෙන ගියොත්, 7.5%ක 'සෘණ' ආර්ථික වර්ධන වේගයක් නම් පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියල මා විශ්වාස කරනවා. ඔවුන්ගේ පක්ෂය වගේම, ආර්ථික වර්ධනයේ මේ ගණන් හිලවුත් අගමැතිවරයාට පැටලිලා." යැයි සඳහන් කළේය.