එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වුවද, පෙර පරිදිම මෙවරත් වැට් බද්ද 15% මට්ටමේ තබා ගැනීමට රජය තීන්දු කර ඇත.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් කැබිනට් අනුමැතිය සඳහා මෙම නව සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත්, වත්මන් රජය බලයට පත්වන විට 12% මට්ටමේ පැවති වැට් බද්ද වැඩි කිරීමට එරෙහිව පසුගිය කාලයේ රට පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක්ද දියත් විය.
එමෙන්ම, මීට පෙර මෙම පනත පාර්ලිමේන්තුවට රැගෙන ආ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය බල ශුන්‍ය බවට තීන්දු කළේය. එම තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දන්වන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වැනි වගන්තියට අනුව බදු පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිවන්නේ එය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති විට පමණි.
එසේ අනුමැතිය ලැබී ඇති බවට පනත් කටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී අදාළ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු බව ස්ථාවර නියෝග 133 හි දක්වා තිබේ. කෙසේ වෙතත්, පසුගිය වර පනත බල ශූන්‍ය වූයේ මෙම ක්‍රමවේදය අනුගමනය නොකළ නිසාය. ඒ අනුව, එම වරද නිවැරදි කරමින් මූලිකව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබුණි.
2016 අයවැය යෝජනා අනුව මාර්තු මාසයේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල තීරණයත්, ජුනි මාසයේ පැවති ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශයත් පරිදි 2002 අංක 14 දරන බදු පනත යටතේ වැට් බදු සංශෝධනය කිරීමට තීරණය කළ බව මේ වනවිට රජය පවසයි. එමෙන්ම, මේ ආකාරයේ සංශෝධනයක් සිදුකිරීමට රජයට සිදුවූයේ සමාජයෙන් මෙන්ම, අධිකරණයෙන්ද නැගුණු විරෝධය නිසා බවද රජයේ පාර්ශ්වය පෙන්වා දෙයි.
ඒ අනුව, කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති නව සංශෝධනය අනුව වැට් බද්ද 15 % මට්ටමේ දිගටම පවතී. කෙසේ නමුත්, පෙර ඉදිරිපත් කළ පනත මගින් වසරක පිරිවැටුම රු.මිලියන 12ක් වූ සිල්ලර හා තොග වෙළෙඳ පරිමාව රු.මිලියන 50ක් තෙක් වැඩි කිරීමට මෙවර සංශෝධනයෙන් කටයුතු කර ඇත. එනම්, වත්මන් රජය පෙර ඉදිරිපත් කළ පනතට අනුව දිනකට රු.33,000/- ක ව්‍යාපාරික කටයුතුවල නිරත සිල්ලර වෙළෙඳුන්ද වැට් බද්දට හසුවූ අතර, මෙය රට තුළ දැවැන්ත විරෝධයක් එල්ල වීමට බලපෑවේය. කෙසේ වෙතත්, බදු පරිමාව රු.මිලියන 50ක් දක්වා වැඩි කිරීම නිසා එකී සිල්ලර වෙළෙඳුන්ට සහනයක් සැලසෙන බව රජයේ විශ්වාසය වී ඇත.
එමෙන්ම, මීට පෙර ඉදිරිපත් කළ පනත මගින් පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගත්තවුන්ද වැට් බද්දට යටත් කෙරුණු අතර මෙවර සංශෝධන පනත් කෙටුම්පත මගින් එහි වෙනසක් සිදුකර ඇත. ඒ අනුව, නව සංශෝධනයෙන් පෞද්ගලික සායන මගින් සිදු කෙරෙන රෝග විනිශ්චය පරීක්ෂණ (Diagnostic Test), කාන්දු පෙරන (Dialysis) සහ වෛද්‍ය උපදේශන සේවා ඇතුළත් නොවන බාහිර රෝගී සේවාවන් (OPD) හැර අනෙකුත් පෞද්ගලික වෛද්‍ය සේවාවන්ට වැට් බද්ද බල පැවැත්වෙයි.
මීට අමතරව, මෙම නව සංශෝධන පනත් කෙටුම්පත මගින් දුම්කොළ නිෂ්පාදන සීනි හෝ වෙනත් පැණි රස කාරක එක් කරනලද කිරි පිටි නිෂ්පාදනවලටත් වැට් බද්ද බල පැවැත්වෙන බව කියැවෙයි.
විශේෂයෙන්ම විදුලි සංදේශ සේවාද මෙම නව සංශෝධන පනත් කෙටුම්පත මගින් වැට් බද්දට බලපාන තවත් අංශයක් ලෙස දක්වා තිබේ. ඒ අනුව, යම් ලෙසකින් මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය හිමි වුවහොත්, ඉදිරියේදී දුරකථන හා අන්තර්ජාල සේවා භාවිත කරන්නන්ද 15% ක වැට් බද්දට යටත් වීම අනිවාර්යය වෙයි.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළකින් විදේශ ගුවන් තොටුපොළක් කරා ගුවන් ගත වන මගීන්ගේ ගුවන් බලපත්‍ර ගාස්තුව කෙරෙහිත් මෙම නව සංශෝධන පනත් කෙටුම්පතට අනුව වැට් බද්ද බල පැවැත්වෙන බව සඳහන් කළ යුතුය.