Samsung Forum 2015 වෙත පිවිසියෙමු
දකුණු කොරියාව පාදක කරගෙන බිහිවූ බහුජාතික සමාගමක් වන Samsun Electronics සමාගම පිහිටුවෙන්නේ 1969 වසරේදීය. එතැන් පටන් මේ දක්වා අනාගතයේ හැඩය වෙනස් කරමින් නවමු නිපැයු රැසක් හඳුන්වා දීමට Samsung සමාගම සමත් වී තිබේ. රූපවාහිනී යන්ත්‍ර, Smartphones, Tablets, කැමරා, මුද්‍රණ යන්ත්‍ර, වෙනත් ඩිජිටල් උපකරණ, පරිගණක ජාල පද්ධති, සෞඛ්‍ය ක්ෂේත්රය සඳහා අවශ්‍ය කරන උපාංග වැනි ඉතා පුළුල් පරාසයක් තුළ Samsung සමාගමේ නිෂ්පාදන භාවිත වනු දැකිය හැකිය. මීට අමතරව නවතම සංකල්පයක් වන Internet of Things ලෙස හඳුන්වන සංකල්පය තුළද පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීමට Samsung සමාගම සමත් වී තිබෙනු දක්නට හැකිය. මේ වනවිට රටවල් 84ක් පුරා විහිදී ඇති මෙම සමාගම සතු සේවක බලකාය පුද්ගලයින් 307,000කින් සමන්විතය. වසරක තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 196ක වෙළෙඳ කටයුතු Samsung සමාගම විසින් සිදුකරනු ලබයි.
නිරිතදිග ආසියානු කලාපය තුළ Samsung සමාගමේ වර්ධනය පිළිබඳව සලකා බලනවිට අංශ කිහිපයක්ම හරහා එම සමාගමේ වර්ධනය සිදුව ඇති බව දැකගත හැකිය. පසුගිය වසරේදී ඉන්දියාව හා හොංකොං යන රටවල දෙවැනි විශාලතම පාරිභෝගික භාණ්ඩ නිපදවන සමාගම බවට පත්වීමට Samsung සමාගමට හැකියාව ලැබුණි. නිරිතදිග ආසියානු කලාපය තුළ සමාගමට ඇති තැන තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට කටයුතු කරන බව Samsung සමාගම පවසා සිටියි.
පසුගිය පෙබරවාරි 16 වැනිදා තායිලන්තයේ, බැංකොක් නුවරදී Samsung සමාගමෙහි නිරිතදිග ආසියානු සමුළුව (Samsung South West Asia Forum 2015) පැවැත්වීමට Samsung India Electronics කටයුතු කර තිබුණි. මෙම සමුළුවට සාභාගී වීමට 'අද' කණ්ඩායමට අවස්ථාව ලැබුණු අතර, මෙහි අප දක්වන්නේ එම සමුළුව තුළදී නිකුත් වූ නවතම Samsung උපාංග හා සංකල්ප පිළිබඳ සටහනකි.
නවතම 4G Smartphone පෙළ
Samsung අලුතින් හඳුන්වාදී ඇති 4G Smartphone වල Time-Division Duplex (TDD) හා Frequency Division Duplex යන තාක්ෂණයන් දෙකම දක්නට හැකි අතර, මේ නිසා එම දුරකථන භාවිත කරන්නාට වඩා නම්‍යශීලී තේරීමක් ලබාදෙයි. තවද, අලුතින් එළිදකින ලද සියලුම Smartphone සතුව 150Mbps ක Download Speed එකක් තිබේ. එමෙන්ම, මෙම Smartphone එකතුව Dual Sim පහසුකමින්ද ලබාගත හැකිය.
මේ අතර නිකුත් වූ Galaxy Grand Prime ලෙස නම් කර ඇති Smartphone එක සතුව අඟල් 5ක qHD තිරයක් දැකගත හැකි අතර, එය ඉතා ඉහළ මට්ටමක දෘශ්‍ය අත්දැකීමක් භාවිත කරන්නාට ලබාදීමට සමත්ය. මීට අමතරව එය සතුව 5MP ක front camera එකක් තිබෙන අතර මෙය භාවිතයෙන් Groupfies ලබාගැනීම ඉතාමත් පහසුය. මෙයට හේතුව වී ඇත්තේ එම කැමරාව සතු පුළුල් පරාසයයි. අඟල් 4.5ක WVGA PLS TFT තිරයක් සහිත Galaxy Core Prime 4G Smartphone එක සතුව ඉතා හොඳ Browse කිරීමේ හා Video Stream කිරීමේ හැකියාවක් පවතී. මීට අමතරව මෙහි ලෝහමය ආවරණය භාවිත කරන්නාට ඉතා පහසුවෙන් Smartphone එක අල්ලා ගැනීමට අවස්ථාව සලසා දෙයි. Autofocus පසුකම හා flash එකක් සහිත මෙහි පසුපස කැමරාව 5MP වන අතර ඉදිරිපස ඇත්තේ 2MP කැමරාවකි. මේ ආකාරයේම කැමරා දෙකකින් සමන්විත Galaxy J1 4G Smartphone එකෙහි විශේෂිත ලක්ෂණය වන්නේ එය භාවිතයෙන් වඩා පහැදිලි ලෙස වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ හැකියාවයි. වීඩියෝ ඇමතුම් ලබාගැනීමේදී ලැබෙන අත්දැකීම් වඩා හොඳ එකක් කිරීමට මෙම Smartphone එක සතුව වැඩිදියුණු කරන ලද ශ්‍රව්‍ය පහසුකම් හා අඟල් 4.3ක WVGA TFT තිරයක් දැකගත හැකිය. මෙම Smartphone සියල්ලම පාහේ ප්‍රධාන වශයෙන් ඉන්දියාව ඉලක්ක කරගෙන හඳුන්වාදී තිබෙන අතර සමුළුවේදී ප්‍රකාශිත පරිදී මෙම මාසයේ හා මාර්තු මාසයේ පටන් මෙම Smartphone වෙළෙඳ පොළ තුළ දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත.
Samsung India හි අලෙවි ප්‍රචාරණ, ජංගම හා තොරතුරු තාක්ෂණ අංශයේ උප සභාපති අසීම් වර්සි පවසන ආකාරයට මේ වනවිට පාරිභෝගිකයාගේ ඉල්ලුම වඩා හොඳ බහුකාර්ය හා පැය 24 පුරාම අන්තර්ජාලය හා සම්බන්න්ධ කර තැබිය හැකි උපාංග වෙත යොමු වෙමින් පවතී. මෙම ඉල්ලුම අනුව යමින් නව 4G LTE Smartphone පෙළ හඳුන්වා දෙනු ලබන බවත් මෙම උපාංග පෙළ මීළඟ ආර්ථික හා ව්‍යාපාරික වර්ධනය බවට පත් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ඉහත සඳහන් කළ Smartphone වලට අමතරව මෙතෙක් Samsung සමාගම විසින් නිපදවන ලද Galaxy Smartphone පෙළෙහි වඩාත්ම සිහින්ම Smartphone එක Galaxy A7 ලෙස එළිදැක්වීමද මෙම සමුළුවේදී සිදුවිය. මිලිමීටර් 6.3ක් පමණ සිහින් වන මෙම Smartphone එකෙහි සම්පූර්ණ බාහිර ආවරණය ලෝහමය ආවරණයකි. අඟල් 5.5ක Full HD Super AMOLED තිරයක් සහිත මෙය ලබාදෙන දෘශ්‍ය අත්දැකීම ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව කිව හැකිය. තවද, මෙහි ඇති සිහින් හා භාවිතයට පහසු නිමැවුම නිසා ඉතා ඉක්මනින්ම මෙය තරුණ පරපුර අතර ජනප්‍රියත්වයට පත්වනු ඇති බවට Samsung සමාගම බලාපොරොත්තු වෙයි. කලින් සඳහන් කළ Smartphone මෙන්ම මෙයද Dual SIM පහසුකමින්ද ලබාගත හැකි උපාංගයකි. Qualcomm Snapdragon Octacore processor එකක් සහිත Galaxy A7 සතුව 2GB ධාරිතාවයකින් යුතු RAM එකක් තිබේ. මීට අමතරව 16GB අභ්‍යන්තර ගබඩා ඉඩකඩක් හා 26,000mAh ක බැටරියක්ද මෙහි තිබෙන නිසා වඩා වැඩි කාලයක් අඛණ්ඩව Galaxy A7 භාවිත අකිරීමේ හැකියාව තිබේ. &මේ උපාංගය නිපදවා තිබෙන්නේ නවීනතම සැලසුම් හා සංකල්පවලට අනුවයි. පාරිභෝගිකයන් වෙත ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු උපාංග ලබාදීමේ අපගේ අභිලාෂයේ තවත් ඉදිරි පියවරක් ලෙස Galaxy A7 හඳුන්වා දෙන්න පුළුවන්* යැයි අසිම් වර්සි මහතා කරණු දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
ජීවන රටාව වඩාත් පහසු කරන Samsung නිෂ්පාදන
Smartphone වලට අමතරව මෙම සමුළුවේදී තවත් Samsung නිෂ්පාදන රැසක්ම එළිදැක්වීම සිදුකෙරුණි. මේ අතර එදිනෙදා භාවිතයට අවශ්‍ය වන උපාංග කිහිපයක්ද දක්නට ලැබුණි. පාරිභෝගිකයින්ගේ ජීවන රටාව හඳුනා ගනිමින් ඔවුන්ගේ එදිනෙදා කටයුතු වඩා පහසුවෙන් සිදුකර ගැනීමට අවශ්‍ය කරන උපාංග නිපදවීමට හා ඒවා වැඩිදියුණු කිරීම සඳහා ඔවුන් සතුව වෙනමම කණ්ඩායමක් සිටින අතර ඔවුන් Samsung සමාගමෙහි නිෂ්පාදන මිලදී ගන්නා පරිභෝගිකයින්ගේ ජීවන රටාව වඩා පහසු කිරීමට වග බලා ගන්නා බව Samsung India Electronics හි අලෙවි විධායක රජීව් භූතානි සමුළුවේදී අදහස් දක්වමින් පවසා සිටියේය.
Convertible ශීතකරණය
මෙලෙස නිකුත් කරන ලද උපාංග අතරින් සමුළුවේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වූයේ ලොව ප්‍රථම වරට එළිදක්වන ලද Digital Inverter Compressor එක සහිත Convertible ශීතකරණයයි. මෙම ශීතකරණයේ දක්නට ලැබෙන ප්‍රධානතම විශේෂාංගය නම් එහි අති අධි ශීතකරණය ඔබට අවශ්‍ය නම් සාමාන්‍ය ශීතකරණයක් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාවයි. Samsung සමාගම විසින් පේටන්ට් අයිතිය දරන Dual Fan and Digital Inverter තාක්ෂණය මෙම ශීතකරණය තුළ භාවිත වේ. මෙම තාක්ෂණයට අනුව අධි ශීතකරණයේ හා සාමාන්‍ය ශීතකරණයේ උණුසුම වෙන වෙනමම පංකා දෙකක් හරහා පාලනය වීම සිදුවේ. මේ නිසා ඕනෑම අවස්ථාවක අධි ශීතකරණය සමාන්‍ය ශීතරකරණයක් බවට පරිවර්තනය කරගැනීමේ හැකියව ලැබී තිබේ. මීට අමතරව මෙම ශීතකරණය භාවිතයෙන් 57% දක්වා විදුලි ඉතිරියක් ලබාගත හැකි බවත්, Convertible පහසුකම නිසා ඕනෑම අවස්ථාවක ලීටර 88ක අමතර සාමාන්‍ය ශීතකරණ ඉඩක් ලබාගැනීමේ හැකියාව පවතින බවත් කිව යුතුය. තවත් සඳහන් කළ යුතු කරුණක් වන්නේ මෙම් ශීතකරණයේ දක්නට ලැබෙන LCD තිරයයි. මෙය භාවිතයෙන් ඉතා පහසුවෙන් අධි ශීතකරණය සාමාන්‍ය ශීතකරණයක් බවට පරිවර්තනය කරගත හැකිය.
NEO Series Split වායුසමීකරණය
මීළඟට වැඩි දෙනාගේ අවධානයට ලක් වූයේ Digital inverter එකක් සහිත NEO Series Split වායු සමීකරණ යන්ත්රයයි. (NEO Series Digital Inverter Split Air Conditioner). මෙම වායු සමීකරණ යන්ත්‍රය නිපදව ඇත්තේ බලශක්තිය ඉතිරි කිරීමේ අරමුණ මූලික කර ගනිමිනි. මෙහි ඇති Digital Inverter Compressor එක අනිකුත් Compressor වලට වඩා 60% ක් අඩුවෙන් විදුලිය භාවිත කරන අතර, 26% ක් වඩා ඉක්මණින් වායු සමීකරණය කිරීමේ හැකියාවක් තිබේ.
ActivWash+ රෙදි සෝදන යන්ත්‍රය
මීට අමතරව අලුතින්ම ඉදිරිපත් කරන ලද Samsung ActivWash+ රෙදි සෝදන යන්ත්රයටද සමුළුවේදී විශේෂ තැනක් හිමිවී තිබෙනු දැකගත හැකි විය. කිලෝග්‍රෑම් 9 හා 11 ලෙස මාදිලි දෙකකින් මෙම රෙදි සෝදන යන්ත්‍රය නිපදවා තිබේ. Samsung සමාගම විසින් සිදුකරන ලද සමීක්ෂණවලට අනුව බොහෝ දෙනා තම ඇඳුම් යන්ත්‍රයේ සේදීමට පෙර අතින් තරමක් සේදීමට (pre-wash) පුරුදු වී සිටින බව සොයා ගනු ලැබිණි. මේ අනුව යමින් pre-wash කිරීම යන්ත්‍රය හරහාම සිදුකර ගැනීමට හැකි පරිදි මෙම නව රෙදි සෝදන යන්ත්‍රය නිෂ්පාදනය කර තිබේ. මේ සඳහා Sink and Side Water-jet නම් තාක්ෂණයක් මෙම රෙදි සෝදන යන්ත්‍රය විසින් භාවිත කරනු ලබයි.
SUHD TV යන්ත්‍රය
පාරිභෝගිකයාගේ විනෝදාශ්වාදය ඉලක්ක කරගෙන නිපදවන ලද නිපැයුම් කිහිපයක්ද මෙහිදී එළිදක්වනු ලැබිණි. මේ අතර ප්‍රධාන තැනක් හිමි වූයේ ප්‍රථම වරට 'S' වෙළෙඳ නාමය දිනාගැනීමට සමත් වූ රූපවහිනී යන්ත්රයයි. මෙම 'S' වෙළෙඳ නාමයේ විශේෂත්වය නම්, Samsung සමාගම මෙම වෙළෙඳ නාමය ලබාදෙන්නේ එම සමාගම විසින් නිපදවන ඉතාමත් ඉහළ මට්ටමේ නිෂ්පාදන සඳහා පමණක් වීමය. මේ නිසා Samsung SUHD TV යන්ත්‍රය වෙත සමුළුවේ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනු දක්නට හැකි විය. මෙම රූපවාහිනී යන්ත්‍රය සතුව Nano-crystal තාක්ෂණය හා SUHD re-mastering picture quality engine එකක් තිබේ. මේ හරහා ඉතාමත් ඉහළ මට්ටමේ අත්දැකීමක් නරඹන්නන්ට ලබාදීමට මෙම නවතම රූපවාහිනී යන්ත්‍රය සමත්ය. 20th Century Fox ආයතනයත් සමග එකතු වෙමින් මෙම රූපවාහිනිය සඳහා වන ඉතා ඉහළ මට්ටමේ ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන් පෙළක් ඉදිරිපත් කිරීමටද Samsung සමාගම කටයුතු කර තිබේ.
ව්‍යාපාරික අතින් වැදගත් උපාංග
එමෙන්ම, ව්‍යාපාරික අතින් වැදගත් උපාංග කිහිපයක්ද මෙම සමුළුවේදී එළිදැක්වීමට Samsung කටයුතු කර තිබුණි. නිරිතදිග ආසියානු රටවල ව්‍යාපාර හා රජයයන් ඉලක්ක කරගෙන නිෂ්පාදන කිහිපයක් ඉදිරිපත් කර තිබෙනු දැකගත හැකි විය. "නිරිතදිග ආසියානු රටවල වෙළෙඳ පොළ දියුණුවට බලපාන ඉතාමත් වැදගත් කරුණක් ලෙස අප සමාගම ඔවුන් සමග පවත්වාගෙන යන සමීප සම්බන්ධතාව හැඳින්වීමට පුළුවන්. තවත් ඉදිරියටත් නව නිපැයුම් හා සංකල්ප හඳුන්වා දෙමින් ව්‍යාපාරවල විභවතා හඳුනා ගැනීමට අපගේ පාරිභෝගිකයින්ට අවස්ථාව ලබාදීමට අපි කටයුතු කරනවා." යැයි මෙහිදී අදහස් දක්වමින් Samsung India හි ව්‍යාපාර අංශයේ උප සභාපති අනුජ් ජෛන් පවසා සිටියේය.
Galaxy Tab Active
ව්‍යාපාර සඳහා හඳුන්වා දෙන ලද නිෂ්පාදන අතර දක්නට ලැබුණු Galaxy Tab Active පිළිබඳව මෙහිදී සඳහන් කළ යුතුය. ව්‍යාපාරිකයන් සඳහාම විශේෂයෙන් නිපදවා ඇති මෙම Tab එක ඉතා සිහින් හා බරින් අඩු වන අතර වැඩි කාලයක් භාවිත කළ හැකි බැටරියකින් සමන්විතය. මෙහි තිරය පරාවර්තීය නොවන අතර (Anti-reflective) එහි දීප්තිය (Brightness) ඉහළ මට්ටමක පවතින නිසා ඕනෑම පරිසරයක් තුළදී ඉතා පහසුවෙන් භාවිත කළ හැකිය. මෙය සතුව අඟල් 8ක තිරක් තිබෙන අතර, 1.2GHz quad-core processor එකක් අඩංගු වේ. මීට අමතරව 1.5 GB ක RAM ධාරිතාවක්ද මෙහි තිබේ. ඕනෑම කර්කශ පරිසරයක භාවිත කළ හැකි පරිදී දුහුවිල්ලෙන් හා ගැටීම් වැටීම්වලින් ආරක්ෂා වන පරිදි මෙය නිපදවා තිබේ.
Smart Signage TV
මීට අමතරව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් Samsung Smart Signage TV හඳුන්වා දීමට කටයුතු කර තිබුණි. මෙම රූපවාහිනී විසඳුම භාවිත කරමින් ව්‍යාපාරිකයන්ට තම නිෂ්පාදන පිළිබඳව පාරිභෝගිකයා දැනුම්වත් කිරීම වඩා පහසුවෙන් හා ඵලදායී ලෙස සිදුකරගත හැකි බව Samsung සමාගම පවසා සිටියි. මෙහි භාවිත වන MagicInfo Express ලෙස හඳුන්වන Content Management මෘදුකාංගය හරහා ව්‍යාපාරිකයාටම තම පාරිභෝගිකයාට පෙන්වීමට අවශ්‍ය දේ පද්ධතිය වෙත ඇතුළත් කරගැනීමේ හැකියාව තිබේ.
බහුකාර්ය මුද්‍රණ යන්ත්‍ර
මීට අමතරව බහුකාර්ය මුද්‍රණ යන්ත්‍ර කිහිපයක් හඳුන්වා දීමටද කටයුතු කර තිබෙනු දක්නට ලැබුණි. කුඩා ව්‍යාපාරවල සිට මහා පරිමාණ ව්‍යාපාර සඳහා ගැළපෙන මුද්‍රණ යන්ත්‍ර මෙහිදී දැකගත හැකි විය.
මීළඟ විප්ලවීය තාක්ෂණ පෙරළිය, Internet Of Things
මේ සියල්ලටම අමතරව Internet Of Things සංකල්පය පිළිබඳවද මෙම සමුළුවේදී කරුණු ඉදිරිපත් කෙරුණි. බොහෝ දෙනා පවසන පරිදි තාක්ෂණ ලොවේ මීළඟ විප්ලවය ලෙස Internet of Things සංකල්පය හැඳින්විය හැකිය. Internet of Things යනු යම් ප්‍රදේශයක තිබෙන ඉලෙක්ට්‍රොනික උපාංග කිහිපයක් එකිනෙක හා එහි නිෂ්පාදකයන් සමග තොරතුරු හුවමාරු කරගනිමින් භාවිත කරන්නාට වඩා හොඳ සේවාවක් ලබාදීමට කටයුතු කරන තාක්ෂණයකි. උදාහරණයක් ලෙස ගතහොත් ඔබ නිවසේ භාවිත කරන උපාංග අතර මෙලෙස අන්තර් සම්බන්ධතා ගොඩනැගිය හැකිය. ඔබගේ නිවසේ ඇති උෂ්ණත්ව පාලකය (Thermostat) පිළිබඳව සිත්වොත්, ඔබගේ ජංගම උපාංගය හරහා පාලනය කළ හැකි උෂ්ණත්ව පාලක දැන් වෙළෙඳ පොළේ තිබේ. කාලයක් ගත වනවිට ඔබ දවසේ විවිධ වේලාවන්වලදී භාවිත කරන උෂ්ණත්ව සැකසුම් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙම උෂ්ණත්ව පාලකවලට හැකියාව තිබේ. උෂ්ණත්ව පාලකය හා ඔබගේ වායුසමීකරණ යන්ත්‍රය Internet of Things හරහා එකට සම්බන්ධ කර ඇති නම් ඔබගේ මැදිහත්වීමකින් තොරව දවසේ විවිධ අවස්ථාවල උෂ්ණත්වය ස්වයංක්‍රීයවම උපකරණ දෙක හරහා සිදුවන තොරතුරු හුවමාරුව මගින් පාලනය වනු ඇත. මෙම උපාංග දෙක පමණක් නොව නිවස තුළ පවතින සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග මෙම ජාලයට සම්බන්ධ කළ හැකි නම් ඉතාමත් පහසුවෙන් ඔබගේ එදිනෙදා කටයුතු සිදුකර ගැනීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත.
නිවෙස්වලට අමතරව, ප්‍රවාහනය, සෞඛ්‍යය, නිෂ්පාදන, බලශක්ති කළමණාකරණය ආදී ක්ෂේත්‍ර රැසක මෙම නව සංකල්පය ඉතාමත් ඵලදායී ලෙස භාවිත කළ හැකිය. Samsung සමාගම Internet of Things සංකල්පය තුළ විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටින බවත්, තවත් වසර 5ක් ඇතුළත Samsung සමාගමේ නිෂ්පාදන සියල්ලම Internet of Things හරහා එකිනෙක සම්බන්ධ කළ හැකි ඒවා වනු ඇති බවත් මෙම සමුළුවේදී හෙළිදරව් කෙරිණි.
ඡායාරූප - ෂමිල පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

