2018 දී Inflation Expectations වැඩිවේවි - හිටපු මහ බැංකු අධිපති
ව්‍යවහාර වර්ෂයක් ගෙවී නව වර්ෂයක් උදාවන විට බොහෝදෙනා තුළ පවතින්නේ නැවුම් හැඟීමකි. එය පුද්ගලානුබද්ධ මෙන්ම, රටක් වශයෙන්ද පොදු හැඟීමකි. නව වසරක් උදාවන විට ඒ නව වසර තුළ රටක ආර්ථික දිශානතිය පිළිබඳව රටේ මහජනතාව වඩාත් විමසිලිමත් දෑස් දල්වන්නේද ඒ නැවුම් හැඟීම පෙරදැරිවය. ගෙවීගිය කාලයේ ලැබූ අත්දැකීම් සමග නව වසරේදී වඩාත් යහපත් ආර්ථිකයක් බොහෝදෙනා ප්‍රාර්ථනා කරන්නේද ඒ නැවුම් හැඟීම් සමග සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමිනි. නමුත්, අප කතා කරන ඒ ආර්ථික සෞභාග්‍යය ගෙවීගිය වසර තුළදී ශ්‍රී ලංකාව ළඟාකර ගෙන තිබේද, සහ ලබන්නා වූ 2018 වසරේදී හෝ ඒ සෞභාග්‍ය කරා පිවිසීමට ශ්‍රී ලංකාවට පසුබිම සකස් වී තිබේද, යන්න පිළිබඳව 'අද ව්‍යාපාරික පිටුව' සමග සමාලෝචනයක යෙදීම සඳහා හිටපු මහ බැංකු අධිපතිවරයෙකු සම්බන්ධ කර ගැනීමට අපි අදහස් කළෙමු. ඔහු 2006 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය හෙබවූ අජිත් නිවාඩ් කබ්රාල් මහතාය.
2015 සිට 2017 දක්වා ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ සමාලෝචනයක්
ගෙවීගිය ආසන්න වසර කිහිපයෙහි ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳව අපි යම් සමාලෝචනයක යෙදුණොත්, පසුගිය වසර 03ක කාලය තුළදී පමණක් ශ්‍රී ලාංකේය ජනතාවගෙන් සහ ව්‍යාපාරවලින් අය කෙරෙන බදු මුදල් ප්‍රමාණය දෙගුණ වී ඇති බව මුලින්ම සඳහන් කිරීමට පුළුවන්. එහිදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කරනු වස් ඉදිරියේදී තවදුරටත් බදු ඉහළ දමනු ඇති බවටද අප තුළ විශ්වාසයක් පවතිනවා.
ජනතාවගෙන් සහ ව්‍යාපාරවලින් එකතු කෙරෙන බදු ප්‍රමාණය දෙගුණ වීමක් (2014 සිට 2018 දක්වා)
· ආදායම් බදු - රු.බිලියන 198 සිට 375 දක්වා,
· භාණ්ඩ සහ සේවා බදු - රු.බිලියන 616 සිට 1,239 දක්වා,
· විදේශ වෙළෙඳාම බදු - රු.බිලියන 236 සිට 420 දක්වා,
· සමස්ත බදු - රු.බිලියන 1,050 සිට 2,034 දක්වාද,
වශයෙන් රටේ මහජනතාව සහ ව්‍යාපාරිකයන්, 2014 දී රජයට ගෙවූ සමස්ත බදු හා සන්සන්දනය කරන විට, 2018 දී වත්මන් ආණ්ඩුවට ඒ ප්‍රමාණය මෙන් දෙගුණයක් ජනතාව බදු ගෙවීමට නියමිත බව පැහැදිලියි.
වැඩිකරගත් බදුවලින් රජය කළේ කුමක්ද?
• මත්තල ගුවන්තොටුපොළ විකිණීමට නියමිත මුදලට සමාන මුදලකට, පරණ යුද නැවක් මිලදී ගැනීම.
• ශ්‍රී ලංකා ඉතිහාසයේම දැවැන්තම මගඩිය ලෙස සැලකෙන මහ බැංකුවේ බැඳුම්කර මගඩිය සිදුවීම නිසා, රු.බිලියන 145ක පමණ වැඩිපුර පොලියක් රජයට ගෙවීම.
• ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අහස් යානා ඇණවුම් අත්හිටුවීම නිසා රු.බිලියන 17ක (ඇ.ඩො.මිලියන 110ක) විශාල වන්දියක් ගෙවීම.
• 'පොර්ට් සිටි' ව්‍යාපෘතිය අත්තනෝමතික ලෙස නැවැත්වීමෙන්, රු.බිලියන 21ක (ඇ.ඩො.මිලියන 148ක) වන්දියක් ගෙවීමට සිදු වූ නිසා, ඒ වෙනුවට, අලුතින් ගොඩකරන ඉඩම් අක්කර 05ක ඉඩම් කොටසක් චීන සමාගමට ලබාදීම.
• අනුවණ ආර්ථික සහ මූල්‍ය කළමනාකාරීත්වය ඔස්සේ, ශ්‍රී ලංකා රුපියලේ අගයෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක් නිසා, 2015 දී රු.බිලියන 286ක්ද, 2016 දී රු.බිලියන 141ක්ද රටේ ණය තොගයට එකතු කර ගැනීම.
රටේ සම්පත් කුණු කොල්ලයට විකිණීම
ගෙවීගිය කාල පරිච්ඡේදය තුළ රටේ සම්පත් විදේශිකයන්ට කුණු කොල්ලයට විකිණීමත්, ඒවා කිසිදු බාධාවකින් තොරව ඔවුන්ට ලබාගැනීමට අවසර ලබාදීමත් රටට අහිතකර ක්‍රියාපිළිවෙතක් බව ඕනෑම කුඩා දරුවෙකුට වුවද පැහැදිලි වන සත්‍යයකි.
• මේ රටේ තිබෙන සීමිත ඉඩම් විදේශිකයන්ට කිසිදු බාධාවකින් තොරව මිලදී ගැනීමට මෙවර අයවැයෙන් අවසර ලබාදී තිබීම.
• රටේ ජනතාවට සහ මතු පරම්පරාවලට අයිති උපායමාර්ගික සම්පත් වන වරායන්, ගුවන්තොටුපොළ, සන්නිවේදන සංඛ්‍යාත, විදුලි බලාගාර, වෙරළ තීරු, අහස් අවකාශය, මහා පරිමාණයේ ඉඩම්, රාජ්‍ය සංස්ථා සහ රාජ්‍ය බැංකු, කුණු කොල්ලයට විකිණීමේ ප්‍රතිපත්තිය දියත් කර තිබීම.
රට 'ණය උගුලක' හිර කිරීම
රටක සංවර්ධන ක්‍රියාවලියේදී ණය ලබාගැනීම සාමාන්‍ය ක්‍රියාවලියක් වුවත්, නිසි කළමනාකරණයකින් තොරව ණය ලබාගැනීම හේතුවෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළ රට ණය උගුලක සිරවූ බව අවිවාදාත්මකයි.
• 2006 ආරම්භයේදී රාජ්‍ය ණය ප්‍රමාණය රු.බිලියන 2,222 වූ අතර, එවිට, දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණයබරතාවය 91% ක ඉතා ඉහළ අගයක් වීම.
• ඉන් පසුව, 2014 අවසානය දක්වා අවුරුදු නවයක කාලය තුළදී රාජ්‍ය ණය රු.බිලියන 5,169කින් වැඩිවී, 2014 අවසන් වනවිට, රාජ්‍ය ණය රු.බිලියන 7,391ක් බවට පත්වීම. එමෙන්ම, එම කාලය තුළ, රටේ දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො.බිලියන 24 සිට 79 දක්වා ශීඝ්‍ර ලෙස වර්ධනය වීම. ඒ නිසා, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව, රාජ්‍ය ණය ප්‍රමාණය 2014 අවසානය වනවිට 71%ක දක්වා අඩු වීම.
• ඒ සමගම, රටේ පවතින පොලී අනුපාතය ක්‍රමයෙන් අඩු කර ගැනීමට පැවැති රජය සමත්වූ නිසා, කිසිදු අපහසුතාවකින් තොරව, රටේ ණය කළමනාකරණය කර ගැනීමට හැකි වීම.
ශ්‍රී ලංකාවේ සමස්ත ණය රු.බිලියන ණය/ද.දේ.නි
2006.01.01 2,222 91%
2014.12.31 7,391 71%
වසර 09ක පැවති රජය සමයේදී වැඩි වීම/(අඩු වීම) 5,169 (20%)
• 2015.01.01 සිට 2017.06.30 දක්වා වත්මන් රජයේ වසර දෙකහමාරක පාලන කාලය තුළදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය රු.බිලියන 7,391 සිට රු.බිලියන 10,164 දක්වා රු.බිලියන 2,773කින් වැඩි වීම.
• එම කාලය තුළදී, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව, රාජ්‍ය ණය ප්‍රමාණය 85%ක් දක්වා ඉතා ශීඝ්‍රයෙන් වැඩි වී තිබීම.
• 2015.01.01 සිට 2017.06.30 දක්වා, වත්මන් රජය යටතේ වැඩිවූ ණය ප්‍රමාණය, මෙතෙක් රටේ ඉතිහාසය පුරාවටම වසර දෙකහමාරක් තුළ වැඩි වූ උපරිම ණය ප්‍රමාණය වීම.
ශ්‍රී ලංකාවේ සමස්ත ණය රුපියල් බිලියන ණය/ද.දේ.නි
2014.12.31 7,391 71%
2017.06.30 10,164 85%
වසර 2 1/2 ක වත්මන් පාලන කාලය තුළ වැඩි වීම 2,773 (14%)
ඒ අනුව, මෙම ප්‍රතිශතය වැඩි වීම තුළින් සනාථ වන්නේ, ශ්‍රී ලංකාවේ ණයබරතාවය මේ වනවිට භයානක අදියරකට පත්වී, රට සැබවින්ම ණය උගුලකට හිර වී ඇති වටපිටාවකි.
ආර්ථික වර්ධනය දරුණු ලෙස පිරිහීම
ලෝකයේ ආර්ථිකයන් අඬුගසා ඉදිරියට යන වටපිටාවක කලාපය තුළ පවා අපට දැකගැනීමට ලැබුණේ ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් පසුපසට තල්ලු වන වටපිටාවක් බව සඳහන් කළ යුතුයි.
• යුද්ධයෙන් පසු, 2010 සිට 2014 දක්වා, පැවති රජය සමයේදී සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය වසරකට 6.8%ක් වශයෙන් පවත්වාගෙන යන්නට හැකිවූ බව, 2016 මහ බැංකු වාර්තාවෙන් පෙනී යෑම.
• ඊට සාපේක්ෂව, පසුගිය වසර දෙකේදී, වර්ධනය වසරකට සාමාන්‍ය ලෙස 4.6% දක්වා 33%ක පමණ කඩා වැටීම.
• තවද, පසුගිය වසරේදී වර්ධනය 4.4%ක් ලෙස වාර්තා කළද, එය දෝෂ සහිතව ගණනය කර ඇති නිසා, 2016 දී සැබෑ ආර්ථික වර්ධන වේගය 2.2%ක් පමණ බවට විශේෂඥයන් චෝදනා කිරීම.
• 2017 දී වර්ධන වේගය, නිල වශයෙන් 3%ක පමණ අගයක පැවතීම.
ඒක පුද්ගල ආදායම එක තැනම
යතුරුපැදියට සමුදෙමින්, පුංචි කාර් රථයක් පැද යෑමට සිහින මැවූ රටේ ජනතාව බලාපොරොත්තු වූ සමෘද්ධිය බොඳව ගිය සිහිනයක් පමණක් බව දත්ත හෝ සංඛ්‍යාලේඛන නොව, තම තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බැලීමෙන්ද පසක් ඔබටම පසක් කරගැනීමට පුළුවන්.
• 2005 දී, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො.බිලියන 24ක් ලෙස වාර්තා වීම. ඒ අතරම, ඒක පුද්ගල ආදායම ඇ.ඩොලර් 1,242ක් ලෙස වාර්තා වීම.
• 2006 සිට 2014 දක්වා වසර 09 තුළදී, රට තුළ සිදුවූ වර්ධනය නිසා රටේ දළ දේශීය නිෂ්පාදිත ඇ.ඩො. බිලියන 79ක් දක්වා වර්ධනය වීම.
• එමෙන්ම, 2014 වනවිට, ඒක පුද්ගල ආදායම සාමාන්‍ය වශයෙන් වසරකට ඇ.ඩොලර් 287කින් පමණ ඇ.ඩොලර් 2,581කින් වැඩි වී, ඇ.ඩොලර් 3,821ක් දක්වා වැඩි වීම.
• එහෙත්, 2015 දී සහ 2016 දී ඒක පුද්ගල ආදායම එකතැනම පල්වෙමින්, වසරකට ඇ.ඩොලර් 07කින් පමණක් සාමාන්‍ය ලෙස වැඩි වෙමින්, වසර 02ක් තුළදී ඇ.ඩොලර් 14කින් පමණක් වැඩිවීම. ඒ අනුව, 2016 අවසානයේදී අප රටේ ඒක පුද්ගල ආදායම ඇ.ඩොලර් 3,835ක් ලෙස සඳහන් වීම.
උද්ධමනය සහ ජීවන වියදම අහස උසට
වේලක් නොකා වේලක් කන මිනිසුන් සිටින යුගයක් යුද්ධයෙන් පසුව අප බලාපොරොත්තු නොවූවත්, රු.100/- ක් ඉක්මවූ පොල් නිසාම, ගෙවීයන වසර අවසානයේදී අපේ ජනතාවට පාලකයන් විසින් එළොව පොල් පෙන්වූ බව සැබෑවක්. එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් නොව, අමතර බොහෝ නිෂ්පාදනයන්ගේ සහ සේවාවන්ගේ මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම තුළ ජීවන වියදම අහස උසට (යුද කලකෝලාහල නොමැතිව) ගමන් කළ කාල සීමාවක් ලෙසද මේ ගෙවීයන වසර හැඳින්වීමට පුළුවන්. නමුත්, එදා 2014 අවසානය වනවිට, වසර 06කටත් අධික කාලයක් ඔස්සේ ලෝකයේ දැවැන්ත කම්පා පැවතියත් උද්ධමනය හා ජීවන වියදම අහස උසට යාමට නොදී ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කිරීමක් පැවති බවද සඳහන් කළ යුතුයි.
• ඒ අනුව, පොලී අනුපාත ස්ථාවරව පවත්වා ගනිමින්, මාස තුනේ භාණ්ඩාගාර බිල්පත් සිට අවුරුදු තිහේ භාණ්ඩාගාර බැඳුම්කර දක්වා, සියලු රාජ්‍ය සුරැකුම්පත්වල පොලී අනුපාත තනි ඉලක්කම් අගයන්හි පැවතීම. එමගින්, ආර්ථිකයේ වර්ධනයට විශාල රුකුලක් සහ ශක්තියක් ලැබුණු අතර, ආර්ථිකය කෙරෙහි දේශීය සහ විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසයද වර්ධනය වීම.
• 2016 වසරේදී උද්ධමනය නැවත වරක් ඉහළ යමින්, ජීවන වියදමේ සැලකිය යුතු පීඩනයක්ද සමස්ත රටටම දැනෙන්නට පටන් ගෙන තිබීම. ඒ අනුව, 2017 ඔක්තෝබර් මාසයේදී, උද්ධමනය 8.6%ක් දක්වා වැඩි වීමෙන් පෙනී යන්නේ, තව නොබෝ දිනයකින් ශ්‍රී ලංකාවේ උද්ධමනය 10% ඉක්මවා යන බවය.
මේ වනවිට, බැඳුම්කර මගඩිය සමස්ත රටම වෙලාගෙන හමාරයි
බැඳුම්කර මගඩිය ගැන බොහෝ තොරතුරු අපට වඩා අද ජනතාව දන්නා බව විශ්වාසයි. රෑ වැටුණු වළේ දවල් නොවැටෙන බවට ජනතාව මෙන්ම, පාලක පක්ෂයේ සිටින ඇතැම් දේශපාලඥයන් පවා බුද්ධිමත්ව පිළිතුරු දෙන්නේද ඒ නිසයි. මේ ගෙවීයන 2017 වසරද ඇතුළුව පසුගිය වසර තුනක කාල පරාසය තුළ ශ්‍රී ලාංකේය ජනතාව මෙතරම්ම බෙලහීන කළ අවස්ථාවක් ඉතිහාසය පුරා දැකගැනීමට නොහැකි තරම් බව මගේ හැඟීමයි.
• අද වනවිට, බැදුම්කර මගඩිය නිසා රජයට සහ ජනතාවට සෘජු සහ වක්‍ර ලෙස සිදුව ඇති සමස්ත පාඩුව රු.බිලියන 1,000ක් ඉක්මවා ඇති බව වත්මන් රජයේම හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකුම ප්‍රකාශ කොට තිබීම.
• ඉන් නොනැවතී, මෙම මගඩියේ අයහපත් ප්‍රතිවිපාක අද වනවිට, විශේෂයෙන්ම පොලී අනුපාතය ඇතුළු අනිකුත් සියලු සාර්ව ආර්ථික සාධකවලට බලපා ඇති බව සක්සුදක් සේ පැහැදිලි වීම.
2018 වසරේ අපේ ආර්ථික දිශානතිය කොයිබටද?
· මූර්ත අංශය
අපි මේ කාරණය පැති පහකින් බැලිය යුතුයි. එක අංශයක් තමයි, රටේ මූර්ත ආර්ථිකය. එතනදි තමයි, අපේ රට ආර්ථික වශයෙන් කොපමණ වර්ධනයක් සිදුවෙනවද, කොපමණ ආයෝජන ප්‍රමාණයක් අපේ රටට ගලාගෙන එනවද, අපේ රටේ ඉදිකිරීම් හා යටිතල පහසුකම් සංවර්ධනය කෙසේද ආදී කාරණා අපි බලන්නෙ. එසේ බලනවිට මට පෙනුණු දේ තමයි, පසුගිය වසර තුනක කාලය තුළදීම මේ රටට නිසි ආයෝජනයක් නොලැබුණු නිසා, එහි ඵලවිපාක අපට 2018, 2019 සහ 2020 යන කාලවලදී විඳීමට සිදුවීම.
එවිට සිදුවෙන්නෙ, දැනටමත් දුර්වල වෙලා තියෙන අපේ ආර්ථික වර්ධනය සෑහෙන දුර්වල වෙනවා. මගේ ඇස්තමේන්තු අනුව 2017 ආර්ථික වර්ධන වේගය 2%කට වඩා වැඩිවෙන්නේ නැහැ. සමහර විට වත්මන් ආණ්ඩුව 3%ක වගේ ආර්ථික වර්ධන වේගයක් පෙන්වන්න පුළුවන්. නමුත්, එය 2%කට වඩා නොවැඩි බව මගේ ඇස්තමේන්තුවයි. ඒ වගේම, 2018 වසරේදීත් 2%කට වඩා එය වැඩිනොවනු ඇති බව මගේ ඇස්තමේන්තුවයි. මෙවැනි තත්ත්වයක් තුළ රටේ අලුත් රැකියා බිහිවීමක් සිදුවන්නේ නැහැ. අලුත් ආදායම් මාර්ග වර්ධනය වීමක් සිදුවන්නේ නැහැ. මෙවැනි පසුබිමක මහ විශාල සමාජීය පීඩනයක් එළඹෙන 2018 සහ 2019 යන වසරවලදී එල්ලවීමට පුළුවන්.
· මූල්‍ය අංශය
දෙවනුව රටේ මූල්‍ය අංශය බලද්දි, අවුරුදු 8කට පමණ පසුව මේ වසරේදී අපේ රටේ උද්ධමනය 10%ට ආසන්න වීමක් පළමු වැනි වතාවට අප දුටුවා. ඒ ප්‍රවණතාව තවදුරටත් වැඩි වීමක් අපට පෙනෙන්නට තිබෙනවා. මොකද, රුපියලේ අගය සෑහෙන ප්‍රමාණයක් අවප්‍රමාණය වෙලා තියෙන්නෙ. ඊළඟ අවුරුද්දෙත් රුපියලේ අගය සෑහෙන ප්‍රමාණයකින් අවප්‍රමාණය වීමට බලපාන සාධක රැසක් අපට පෙනෙනවා. ඒ නිසා ලබන වසරේදීත් අපේ උද්ධමනය වැඩිවෙලා, රටේ බඩු මිල වැඩිවීම තුළින් ලොකු අසහනයක් ආර්ථිකයට දැනෙන්න පුළුවන්. ඉන් සිදුවන්නේ තවදුරටත් උද්ධමනය වැඩිවෙනවා යැයි (Inflation Expectations) කියන අදහස ජනතාව තුළ වර්ධනය වීමයි. ඒ නිසා වැඩිපුර පඩිනඩි ඉල්ලන්න පටන් ගන්නවා. ඒ හරහා තවදුරටත් වැඩවර්ජන සිදුවෙනවා. මේ තත්ත්වය තුළ සමාජීය සහ වැඩබිමේ අසහනයක් (Workplace Unrest) ලබන වසරේදී අනිවාර්යයෙන්ම දැනෙනු ඇති බව මගේ විශ්වාසයයි.
· රාජ්‍ය ගිණුම්
තෙවැනි කාරණය ලෙස රාජ්‍ය ගිණුම් බලද්දි අපි දැක්කා මේ වසරේදී අපේ ණය ප්‍රමාණය සෑහෙන්න වැඩි වුණා. 2014 අගභාගය වනවිට අපේ ණය තිබුනේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 71%යි. මට හිතෙන හැටියට 2017 අවසන් වනවිට 85%ක් හෝ 86%ක් දක්වාවත් මෙය අඩුම තරමින් වැඩිවෙලා ඇති. ඒ කියන්නෙ, සෑහෙන ලොකු ණයබරතාවකට, පීඩනයකට රට භාජනය වීමයි. ලබන වසරේදීත් රටේ වර්ධනය අඩුවෙන නිසා ලබාගැනීමට හැකි බදු ප්‍රමාණය අඩු වෙනවා. මොකද, රජය බදු අනුපාත පමණක් ඉහළ දමමින්, මිනිස්සුන්ට හැම පැත්තෙන්ම බදු ගහගෙන ගියාට, රට තුළ ඇති ආර්ථික ක්‍රියාවලිය අඩුවන විට බදු ප්‍රමාණයත් ඊට සාපේක්ෂව අඩුවෙනවා. එවැනි අඩුවීමක් සිදුවන විට රාජ්‍ය වියදම සඳහා ඉතිරි මුදල් ප්‍රමාණය සොයාගැනීම සඳහා රටේ සම්පත් විකුණා ලබාගන්නා මුදල්වලට අමතරව, තවදුරටත් ණයම ලබාගැනීමට සිදුවෙනවා. මේ තත්ත්වය තුළ ණය ප්‍රමාණය තවදුරටත් වැඩිවෙනවා. සාමාන්‍යයෙන්, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 90%කට ණය ප්‍රමාණය ගියා කියන්නෙ, බොහොම භයානක තත්ත්වයක්, එහෙත් නැත්නම් ණය උගුලක් යැයි හඳුන්වන්න පුළුවන්. වත්මන් රජය පසුගිය පාලන සමයේ කෑකෝ ගසමින් කියා සිටියේ රට ණය උගුලක සිරවී ඇති බවටයි. නමුත්, එවකට පැවතියේ 71%ක ප්‍රතිශතයක්. දැන් මොවුන්ගේ හපන්කම් ඔස්සේ මේ අගය 90%ක් දක්වාම වැඩිවීම නොවැළැක්විය හැකියි. එසේ වැඩිවීමේදී පොලී අනුපාත තවදුරටත් වැඩිවෙනවා. ආයෝජනය තවදුරටත් අඩුවෙනවා. ඒ චක්‍රය තුළින් ඒ ප්රශ්නය තවදුරටත් උග්‍ර වෙනවා. ඉතිං මට හිතෙන්නෙ, රාජ්‍ය ගිණුම්, රාජ්‍ය ණය ගැනීම් ලබන වසරේදී සෑහෙන පීඩනයකට පත්වනු ඇති බවයි.
· බාහිර අංශය
සිව්වැනි කාරණය බාහිර අංශය, එහෙමත් නැත්නම් අපේ රට විදේශයන් සමග සිදුකරන ගනුදෙනු. මේ බාහිර අංශය දෙස බැලීමේදීත් අපට පෙනෙන චිත්‍රය එතරම් හොඳ චිත්‍රයක් නොවෙයි. අපි දැක්කා, GSP+ ආවයි කියල, අපේ වෙළෙඳ ගිණුම තවදුරටත් යහපත් අතට හැරෙයි කියල ලොකු බලාපොරොත්තුවකින් තමයි හිටියේ. නමුත්, එහෙම වුණේ නැහැ. ඒත්, මේ GSP+ ගන්න අපේ රටේ පැවති සියලුම සාරධර්ම අපි විනාශ කරගත්තා. අපේ රටේ ස්වෛරීභාවයටත් ලොකු කැළලක් ඇති කරගෙන GSP+ ගත්තාට, ඒ ගැනීමෙනුත් බලාපොරොත්තු වූ ආර්ථික වාසීන් අපට ලැබී නැහැ. ඉතිං අපට පෙනී යනවා, තවදුරටත් මේ රටේ ගිණුම් ශේෂය අයහපත් අතට හැරී තිබෙන ආකාරය. ඒ සමගම ප්‍රේෂණ අඩු වෙනවා. මැදපෙරදිගින් ලැබෙන මුදල් ප්‍රමාණය අඩුවෙමින් පවතිනවා. දැන්, මේ අලුත් අර්බුද නිර්මාණය කරගෙන සිටින නිසා, තේ අර්බුදය ආදී අර්බුද නිර්මාණය කරගෙන සිටින නිසා සමහර විට තේ මිලද තවදුරටත් අඩුවෙන්න පුළුවන්.
මීට අමතරව, සංචාරක ක්ෂේත්රයේ අපි බලාපොරොත්තු වූ ගැම්ම දැන් නැතිවෙලා. විවිධ රටවල් සමග ඇති ප්‍රශ්න මීට හේතුවෙලා තියෙනවා. සැබවින්ම සංචාරක ක්ෂේත්රයේ 2%ක වර්ධනයක් කියල කියන්නෙ නතර වීමක් වගෙයි. මෑතකදී මා මීගමුව ප්‍රදේශයේ සංචාරය කළා. දවල් වරුවෙ, කිසිම හෝටලයක, කිසිම රෙස්ටුරන්ට් එකක සැලකිය යුතු සංචාරක පිරිසක් නැහැ. දෙසැම්බර් මාසයේදී එවැනි තත්ත්වයක් කවදාවත් තිබිල නැහැ. ඉතිං ඒ ප්‍රවණතාව තවදුරටත් සිදුවෙනවා කියන්නෙම, අපේ බාහිර ක්ෂේත්රය තවදුරටත් සෑහෙන ලොකු පීඩනයකට ලබන වසරේදී ගොදුරු වනවා කියන කාරණයයි. ඉන් සිදුවන්නේ රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වීමයි. මොකද, මේ තත්ත්වයන් නිසා ඩොලරයට තියෙන ඉල්ලුම තවදුරටත් වැඩිවෙනවා. ඩොලර් ශ්‍රී ලංකාවට එන ප්‍රවණතාව අඩුවෙනවා. ඒ නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් බාල්දු වෙනවා. ඉතිං මේ කාරණාත් අපට බලපාන නිසා, ලබන වසරේදී අපට සෑහෙන ලොකු පීඩනයක් විඳින්න සිදුවනු ඇති බව මගේ හැඟීමයි.
· මූල්‍ය පද්ධතිය
පස්වැනි කාරණය තමයි, අපේ මූල්‍ය පද්ධතිය. බැංකු සහ මූල්‍ය සමාගම්වල දැනටමත් යම් යම් දෙදරීම් සිදුවන ආකාරය අපට පෙනී යනවා. ඊයෙ පෙරේදත් අපි පුවත්පත්වල දැක්කා, මූල්‍ය සමාගම්වල ප්‍රශ්න ඇති බව රජයේ පාර්ශ්වයම පවසා තිබුණා. ඒ කවර මූල්‍ය සමාගම්ද කියල කියන්න බැහැ, නමුත්, ප්‍රශ්න තියෙනව කියල පාලකයන්ම කියනවා. එතකොට බැංකුවලට තවදුරටත් ප්‍රශ්න තියෙන බවත් කියනවා. මොකද, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රශ්න නිසා ඒවා බැංකුවලට බලපානවා කියල කියනවා. කණිජ තෙල් සංස්ථාවේ ප්‍රශ්න තියෙන නිසා ඒවා බැංකුවලට බලපානවා කියල කියනවා. එතකොට ආණ්ඩුවම දිගින් දිගටම පවසමින් සිටින්නේ, මේ මේ අර්බුද නිසා අපේ මූල්‍ය පද්ධතියට ලොකු හානියක් සිදුවී ඇති බවයි. එතකොට ඔවුන් පවසන විදියටම ඒ දේ තවදුරටත් උග්‍ර වෙනවා නම්, මට හිතෙන්නෙ, රටේ මූල්‍ය පද්ධතියටත් ලබන වසරේදී ලොකු තර්ජනයක් අපට පෙනී යන්න පුළුවන්.
2018 වසරේ චිත්‍රය එතරම් යහපත් චිත්‍රයක් නොවීම
ඉතිං මෙහෙම බලද්දි, 2018 වසර වෙනුවෙන් අපට පෙනෙන චිත්‍රය නම් එතරම් යහපත් චිත්‍රයක් නොවෙයි. මට තියෙන ගැටලුව වන්නෙ, මේ එක්ස් කිරණ පිටපත කියවන්න පුළුවන් වුණාම, මේ ප්රශ්නය වඩාත් හොඳින් පෙනෙන්නට වීමයි. වෛද්‍යවරයෙක් එක්ස් කිරණ පිටපතක් බැලුවාම, රෝගියාගේ රෝගී තත්ත්වයේ උග්රභාවය පෙනෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් ඒ පිටපත බලද්දි එතරම් අභ්‍යන්තරික කරුණු, ඒ රෝගී තත්ත්වයේ උග්රභාවය පෙනෙන්නේ නැහැ. දියුණු වෙමින් පැමිණි ආර්ථිකයක් අප ඇස් ඉදිරිපිටම ඉතා විශාල අගාධයකට වැටෙන විට, සැබවින්ම ඇතිවන්නේ විශාල කනගාටුවක්. ඒ ගැන ක්‍රියාකළ හැකි පුද්ගලයෙක් හරියට ඉදිරිපත් වෙලා ක්‍රියා නොකරන බව පෙනෙන විට ඒ කනගාටුව දෙගුණ තෙගුණ වෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



