රට තුළ මැනවින් ක්‍රියාත්මක වන රාජ්‍ය අධ්‍යාපන ක්‍රමයක් තිබියදීත් ඉන් බාහිරව විශාල ශිෂ්‍ය පිරිසක් විවිධ පාඨමාලා, විවිධ උපාධි හදාරන බව Future Minds ප්‍රදර්ශනය නරඹන අවස්ථාවේදී තමාට අවබෝධ වූ බව උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ කොළඹ නාලන්දා විද්‍යාලයීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය පසුගිය ජුනි 19 වැනිදා, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලවේදී සංවිධානය කරනලද %Future Minds - 2015^ සම්මන්ත්‍රණයේ සහ ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිතව ඉදිරියට පවත්වා ගෙන යා යුතුයි. එය කුමන බලවේග හමුවේ වුවද මේ රටේ දූ දරුවන් වෙනුවෙන් හා රටේ අනාගතය වෙනුවෙන් වඩාත් අර්ථාන්විත ලෙස පවත්වා ගත යුතු බව අවධාරණය කළ යුතුයි. එසේම අපේ රටේ මැනවින් ක්‍රියාත්මක වන රාජ්‍ය අධ්‍යාපන ක්‍රමයක් තිබියදීත් ඉන් බාහිරව විශාල ශිෂ්‍ය පිරිසක් විවිධ පාඨමාලා, විවිධ උපාධි හදාරන බව මට මේ 'Future Minds' ප්‍රදර්ශනය නරඹන අවස්ථාවේදී අවබෝධ වුණා. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මෙය මට නැවුම් අත්දැකීමක් බව ප්‍රකාශ කළ යුතුයි. මීට වසර 15කට ඉහතදී, එනම් වර්ෂ 2000 දී ඇමෙරිකාවේදී රැස් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජ්‍ය නායකයන් විසින් සහශ්‍ර සංවර්ධන ඉලක්ක 08ක්, 2015 වනවිට සපුරා ගත යුතු බවට තීරණය කළා, ඒ සහශ්‍ර සංවර්ධන ඉලක්ක අතරින් 02ක් අද මේ රැස්වීමට ඉතා වැදගත් බවද මා සිහිපත් කරනවා. එනම් සාක්ෂරතාව සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයයි.
වර්ෂ 2000දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 189ක් එක්ව 2015 වනවිට සපුරා ගත යුතු යැයි කී සහශ්‍ර සංවර්ධන ඉලක්ක සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව සපුරා ගෙන තියෙනවා. මේ වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 194ක රාජ්‍ය නායකයන් නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට රැස් වී ඉදිරි වසර 15දී සපුරා ගත යුතු සහශ්‍ර සංවර්ධන ඉලක්ක මොනවාද යන්න තීරණය කරනු ඇති. ඒවාද අප ජය ගත යුතුව තියෙනවා
අපේ රටේ වැඩි පිරිසකට උසස් අධ්‍යාපනය ලබාදීම සහ විද්‍යාව හා තාක්ෂණ අංශය පුළුල් කිරීම ඉතා වැදගත් අංශ දෙකක්. ඒ අරමුණු අපේ රටට ඉතා වැදගත්. අපේ රටේ මනා නිදහස් අධ්‍යාපන පද්ධතියක් පවතිනවා. පළමු වැනි වසරේ සිට ආචාර්ය උපාධිය (Phd) දක්වා නිදහස් අධ්‍යාපන පද්ධතියක් පවතින ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව විය හැකියි.
මා පසුගියදා චීනයේ නිල සංචාරයක් සිදුකළා. එහිදී, චීන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා වන මහාචාර්ය වැන් යැන්ග් මහතා හමුවී සාකච්ඡා කරන විට ශ්‍රී ලංකාවේ පළමු වැනි ශ්‍රේණියේ සිට ආචාර්ය උපාධිය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබාදෙන බව මා පැවසූ විට ඔහු පුදුමයට පත්වුණා. සමාජවාදී රටක් වන චීනයේ පවා ඔවුන් නොමිලේ අධ්‍යාපනය ලබාදෙන්නේ 09 ශ්‍රේණිය දක්වා පමණයි. ඉන්පසු ලබන අධ්‍යාපනය සඳහා ඔවුන් ගෙවිය යුතුයි. අප ජීවත් වන්නේ දේශපාලනමය හා සදාචාරාත්මක වශයෙන් බැඳුණු නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයක් තුළයි. නිදහස් අධ්‍යාපනය තිබිය යුතුයි. එය නැත්නම් ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන දක්ෂ දරුවන්ට සමාජයේ ඉදිරියට යෑමට අවස්ථාවක් නැහැ. ඒ නිසා නිදහස් අධ්‍යාපනය සඳහා රජය වැය කරන මුදල තව තවත් වැඩි කර රටේ දූ දරුවන්ට සිය දක්ෂතා දියුණු කර ගැනීමට අවකාශය සලසා දිය යුතු බව මාගේ අදහසයි.
මා මේ දිනවල අනගාරික ධර්මපාලතුමා පිළිබඳ පොතක් ලියමින් සිටිනවා. එය තව මාස දෙකකින් පිටවීමට නියමිතයි. නාලන්දා විද්‍යාලය වැනි විද්‍යාල ගොඩ නැඟුවේ පරම විඥානාර්ථ සමිතියයි. ආනන්ද, නාලන්ද, ධර්මරාජ, ධර්මාශෝක, මහින්ද වැනි පාසල් 100ක් සාදා ඇත්තේ පූර්ණ පෞද්ගලික පාසල් ලෙසයි. ඒවා විශිෂ්ඨ කර්තව්‍යයන්. මේ පාසල් 1960 දශකයේ රජයට පවරා ගත්තා. නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවරුන් වූ ජී. ජී. මලලසේකර, පී. ද. ඇස්. කුලරත්න වැනි අය අපට සිහිපත් වෙනවා.
මේ පාසල් 1960 රජයට පවරා ගන්නා තෙක් එහි අධ්‍යාපනය ලැබූ සිසුන්ට කිසියම් මුදලක් ගෙවීමට සිදුවුණා. රජයට පවරා ගත් පසුව එම වගකීම රජය භාරගත් පසුව ගුරු හිඟය, අරමුදල් හිඟය වැනි ගැටලු මතු වුණා. මේවා ගැන අප දැඩිව අවධානය යොමු කළ යුතුයි.
ශ්‍රී ලංකාව පුරා අධ්‍යාපන ආයතන අරඹිය හැකි වුවත්, ප්‍රබල ප්රශ්නය මතු වී ඇත්තේ ඒ ඒ විෂයයන් සඳහා දක්ෂ ගුරු පිරිසක් සොයා ගැනීමටයි. හොඳ ගුරු පිරිසක් සොයාගැනීම අපේ විශ්වවිද්‍යාලවලටද බලපා තියෙනවා. එහෙත් සෙසු රටවලට විශාල ගුරු පිරිසක් සිටිනවා. ශ්‍රී ලංකාවේ ගුරුවරයෙකු ලෙස ජීවිතය අරඹන අයෙකු විශ්‍රාම ගන්නේද ගුරවරයෙකු ලෙසයි. එහෙත් ඔබ හොඳ ගුරුවරයෙකු හා පර්යේෂකයෙකු නම් ඔබ අනෙක් විශ්වවිද්‍යාලවලටද ඉගැන්වීමට යාවි. ඔබ අදක්ෂ ගුරුවරයෙකු නම් ඔබ පහළට ඇද වැටී, නම් වශයෙන් සඳහන් කළ නොහැකි සමහර විශ්වවිද්‍යාලවලම නතරව විශ්‍රාම යාමට සිදුවනු ඇති.
වර්තමානයේ ක්‍රියාත්මක වන ඉගැන්වීමේ ක්‍රම ගැඹුරින් විමර්ශනය කර බැලිය යුතුයි. එසේ සිදුකර අදට ගැළපෙන ලෙස එය වෙනස් විය යුතුයි. රජය මගින් හෝ පෞද්ගලික අංශය මගින් හෝ මේ දෙකෙහිම මිශ්‍රණයකින් හෝ අද අපි කතා කරන්නේ අධ්‍යාපනය සම්බන්ධවයි. අද නව ද්විතීක උසස් අධ්‍යාපන පද්ධතියක් ඇරඹී තියෙනවා. එනම් රජය විසින් ලබාදෙන නොමිලේ අධ්‍යාපනය හා මුදල් ගෙවා කරන අධ්‍යාපනයයි. අද තත්ත්වය අරගෙන බැලුවොත්, ඇතැම් ගුරුවරු පාසල්වල දරුවන්ට වඩා අමතර පන්තිවල (ටියුෂන්වල) ළමයින්ට උගන්වනවා. උදෑසන 07.30 සිට සවස 1.30 දක්වා දරුවන් පාසල්වලද සවස 02.00 සිට සවස 05.00 හෝ ඊටත් පසුවන තුරු අමතර පන්තිවලද ඉගෙන ගන්නවා. මේ පෞද්ගලික පන්ති වැඩි වශයෙන්ම පවත්වා ගෙන යන්නේ රාජ්‍ය පද්ධතියේ පාසල් තුළ උගන්වන ගුරුවරුමයි. එසේම බොහෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුද බාහිර උපාධි පන්ති හෝ වෙනත් පාඨමාලාවල අතිරේකව ඉගැන්වීම් සිදුකරනවා. මේ අය රජයෙන් වේතනයන් ලබන අයයි. මේ අනුව බොහෝ ආචාර්යවරු දෙබඩි ක්‍රමයක් පවත්වා ගෙන යනවා. යථාර්ථය වන්නේ මෙයයි.
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට පිටතින් විශාල ශිෂ්‍ය පිරිසක් උපාධිය, ඩිප්ලෝමා හෝ වෙනත් පාඨමාලා හදාරනවා. බොහෝ සිසුන් අ.පො.ස.(සා/පෙ) නිමවූ පසුවම පෞද්ගලික අංශය මගින් ක්‍රියාත්මක වන අධ්‍යාපන ආයතනවල පාඨමාලාවලට බැඳෙනවා. එසේ බැඳී විවිධ ඩිප්ලෝමා, උපාධි, නීති උපාධි, හදාරනවා. බොහෝ පාඨමාලා විද්‍යාව හා තාක්ෂණය හා බැඳී පවතිනවා. මේවා නිමවූ පසු පෞද්ගලික අංශයේ හෝ විදේශයන් හි රැකියා අවස්ථා සඳහා ඔවුන් ඇදෙනවා. මේ රාජ්‍ය අධ්‍යාපන පද්ධතියෙන් බැහැරව තිබෙන පාඨමාලාවලට ඇතුළත් වන ශිෂ්‍යයන්, ගුරුවරු වැඩිපුර හදාරනුයේ කුමන පාඨමාලාද යන්න ගැන විධිමත් සංඛ්‍යාලේඛන සපයා දෙන ලෙසටද මේ අධ්‍යාපන ආයතනවලින් මා ඉල්ලා සිටිනවා. ඒ තුළින් අපට කිසියම් තක්සේරුවකට, නිගමනයකට හා කාලයට ගැළපෙන වෙනස්කම්වලට ගමන් කළ හැකියි.
මා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට උපදෙස් ලබාදී තිබෙන්නේ මසක් ඇතුළත ඒ ලැබෙන අයැදුම් පත්‍රයට 'ඔව්' හෝ 'නැත' යනුවෙන් පිළිතුරු සපයන ලෙසයි. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කරන සිසුනට තමාට විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හැදෑරීමේ වරම 'ලැබේද?', 'නොලැබේද?' යන්න මින්පසු කඩිනමින් දැනුම් දෙනු ඇති. එය අත්‍යවශ්‍ය කටයුත්තක්. එසේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සියලු විශ්වවිද්‍යාලවලට අදාළ විධිමත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාවත්කාලීන කරන ලෙසටද මා උපදෙස් ලබාදී තියෙනවා. ඒවා එලෙස සිදුවන විට රටේ උසස් අධ්‍යාපනය සම්බන්ධ කරුණු වඩාත් කාර්යක්ෂමව හා නිවැරදිව කරගැනීමට හැකි වෙනවා. තමා ලැබූ අධ්‍යාපන තුළින් රැකියාවක් ලබාගැනීම අවසන් ප්‍රතිඵලය විය යුතුයි. ඒ නිසා ගුණ නැණ බෙලෙන් සපිරෙනවා සේම රැකියාවකට උචිත අධ්‍යාපනයක් අපේ දරුවන්ට අප ලබාදිය යුතුයි. දැනුම, ආකල්ප කුසලතා මෙන්ම සන්නිවේදනයද සහිත උසස් පෞරුෂයකින් හෙබි දරු පරපුරක් රටට දායාද කරන අධ්‍යාපනයක් වෙනුවෙන් අප කැප විය යුතුයි. ඒ තුළින් රට සංවර්ධනයේ මාවත කරා මෙන්ම සහජීවනය රජ වන යුගයක් කරා මෙහෙය විය හැකියි." යනුවෙන් පවසා සිටියේය.