ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන FACETS ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය මෙවර 27 වැනි පියවර ලෙස, 2017 අගෝස්තු මස 31 වැනිදා කොළඹ 7, BMICHහිදී සාර්ථකව පවත්වා තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ FACETS 2017 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපති සේවයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නිලධාරීන්, ගැනුම්කරුවන් හා තවත් සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගී වී ඇත.
සිරිමාවෝ බණ්ඩාරණායක පරිශ්‍රයේදී ප්‍රදර්ශනය කෙරුණු ඉතා වටිනා මැණික් හා ජාත්‍යන්තර මට්ටමේ සුපිරි ස්වර්ණාභරණ සහ තාක්ෂණික මෙවලම් ඉතා ඕනෑකමින් නැරඹූ අග්‍රාමාත්‍යවරයා FACETS 2017 ප්‍රදර්ශනයේ සාර්ථකත්වය පිළිබඳ සිය සතුට පළ කළ බවද සංවිධායකයෝ පවසති.
FACETS 2017 සමාරම්භක අවස්ථාවෙන් පසුව වුවද, වැඩ රාජකාරීන් රැසක් අතරේ වුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළමු වැනි දින ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීම ක්ෂේත්රයේ සියලු දෙනා දිරිගැන්වූවක් බවද සංවිධායකයෝ පෙන්වා දෙති.
මෙවර FACETS ප්‍රදර්ශනය සෑම ආකාරයකම පාරිභෝගික අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙහිලා සමත්වන ආකාරයෙන් සංවිධානය කළ බවත්, දෙස් විදෙස් ප්‍රදර්ශකයන් ඉදිරිපත් කළ ඉතා වටිනා මැණික් හා ස්වර්ණාභරණ නිර්මාණ, අනර්ඝ තත්ත්වයේ අත් ඔරලෝසු සහ නවතම ආභරණ විලාසිතා වර්ග රැසක් මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ භාවිත විවිධාකාරයේ අති නවීන තාක්ෂණික මෙවලම් රැසක් FACETS වෙත ඉදිරිපත් කර තිබූ වත් සඳහන් වේ.
එමෙන්ම, මෙවර FACETS ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය මැණික් ව්‍යාපාරිකයන්, මැණික් ඔපදමන්නන්, අපනයනකරුවන්, තොග හා සිල්ලර වෙළෙඳ ප්‍රජාව හා නිෂ්පාදකයන් මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ කාර්මික හා තාක්ෂණික උපකරණ හා සේවා සපයන්නන්ද රසායනාගාර හා සහතිකකරණ සේවයේ නියැලි ආයතනයන්ද ක්ෂේත්රයේ අධ්‍යාපනික හා පුහුණු කිරීම් සේවා සපයන ආයතනයන් වැනි මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය හා සබැඳි පාර්ශ්ව රැසක් එක් ස්ථානයක එකමුතු කරන දැවැන්ත කටයුත්තක් ලෙස සංවිධානය වූ බවත්, ඒ හරහා ප්‍රදර්ශනය නරඹන්නන්ට මිලදී ගැනීමේ අවස්ථා රැසක් උදාකරදී තිබූ අතර අධ්‍යාපනික වටිනාකමක්ද එක්කොට තිබීම විශේෂත්වයක් බවද සංවිධායකයෝ පවසති.
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ, ජාත්‍යන්තර වෙළෙඳ පොළට හඳුන්වාදීම සහ මැණික් හා ස්වර්ණාභරණ ජාත්‍යන්තර වෙළෙඳ පොළට සපයන ඉහළම පෙළේ රටක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීමත් මූලික අරමුණ කොටගෙන FACETS ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන බවද ඔවුහු වැඩිදුරටත් පවසති..