සේවක අර්ථසාධක අරමුදලේ (EPF) කිසිදු මුදල් හිඟයක් නොමැති බවත්, අයදුම්පතක් ඉදිරිපත් කර සතියකින් පසු සාමාජික ප්රතිලාභ මුදල් ලබාගත හැකි අතර, දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් මේ අරමුදල පිළිබඳ අසත්‍ය ප්‍රචාර කිරීමෙන් වළකින ලෙසත් කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26දා) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.
“මේ සිදුකරන චෝදනා කෝප් කමිටුව හමුවේ ඉදිරිපත් නොකරන්නේ ඇයි? කවුරු මොනවා කීවත් මේ රටේ සෑම රජයක්ම මේ අරමුදල ආරක්ෂා කර තිබෙනවා. මුදල් එකතු කර තිබෙනවා. මුලින් රජය දායක වූයේ 2%කට පමණයි. දැන් එය 10%ක් වෙනවා. අරමුදල කොටස් වෙළෙඳ පොළට ගියේ එජාප රජය කාලේදීයී. එකලත් පාඩු සිදු වූවා. ලාභ ලැබුවා. අද අරමුදලේ 6%ක් ආයෝජනය කර තිබෙනවා. ඒ 6% ඉතා විශාල නිසා කවුරුත් කතා කරනවා” යැයි ඔහු කීය.
“මෙහි අඩුපාඩු තිබෙනවා නම් සියලුදෙනා එකතු වී සාකච්ඡා කර නිවැරදි කරන්න ඕනෑ. දේශපාලන වාසියක් ගන්න චෝදනා කරන්න එපා. අඩු ආදායම් ලබන අයට ප්රතිලාභ ලබාදීමට ප්‍රමුඛතාවක් දෙනවා. ගෙවීමේ ප්‍රමාදයක් නැහැ. අයදුම්පත දී සතියක් ඇතුළත ගෙවීම් සිදු කරනවා. 30%ක් ගෙවීමේ කටයුතු ප්‍රමාද වී ඇත්තේ සංවිධාන කටයුතු නිසයි. ඉක්මනින් අවශ්‍ය රෙගුලාසි සම්මත කරනවා. ගෙවීමට මුදල් නැතැයි අසත්‍ය ප්‍රචාර කරන්නට එපා. අර්ථසාධක අරමුදල් ආපසු ගෙවීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ” යනුවෙන් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එම විවාදයට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න මහතා පවසා සිටියේ, සේවක අර්ථසාධක අරමුදල පිළිබඳ පනත මුලින්ම ඉදිරිපත් කළේ ටී.බී. ඉලංගරත්න මහතා බවත් බණ්ඩාරනායක රජය යටතේ 1958 දී මේ පනත ඉදිරිපත් කළ අතර මෙය වැඩකරන කම්කරු ජනතාව ලැබූ ප්රගතිශීලි ජයග්‍රහණයක් බවත්ය.
“සේවක අර්ථසාධක අරමුදලට සේවකයන්ගෙන් අය කර ගන්නේ 8%ක් 12%ක් වැනි ප්‍රමාණයක්. නමුත් සිංගප්පූරුවේ සේවකයන්ගේ වැටුපෙන් 28%ක් සේවක අර්ථසාධක අරමුදලට බැර වෙනවා. සිංගප්පූරුව සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කරනවා. ඒ මුදල්වලින් තමයි අහස උසට මාලිගා ඉදිකරන්නේ. සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීමේ වරදක් නැහැ” යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.