අපනයන අංශයට සෘජුවම සම්බන්ධ රේඛීය අමාත්‍යාංශ ඒකාබද්ධ කොට මීට පෙර ක්‍රියාත්මක වූ, අපනයන සංවර්ධනය සඳහා වූ අමාත්‍ය කමිටුව (EDCM – Export Development of Council Ministers) නැවත ස්ථාපිත කිරීම කාලෝචිත පියවරක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී ඉන්දිරා මල්වත්ත මහත්මිය පැවසුවාය.
ඒ මහත්මිය මෙසේ පවසා සිටියේ, රජයේ ආර්ථික දර්ශනයට අනුගතව අපනයන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් සිය මණ්ඩලයේ සේවක සේවිකාවන් දැනුවත් කිරීම සඳහා පසුගියදා කොළඹ පිහිටි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවති රැස්වීමකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මල්වත්ත මහත්මිය, “පසුගියදා පැවති තායිලන්ත සංචාරය අතරතුරදී මෙරට අපනයන පහත වැටීම පිළිබඳ ජනාධිපතිවරයා මගෙන් විමසා සිටියා. මේ සඳහා විවිධ හේතු සාධක රැසක් බලපා ඇති බව මා එතුමාට පෙන්වා දුන්නා. මෙය එක් ආයතනයක දුර්වලතාවක් නිසා ඇතිවූවක් නොවෙයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ පොළේ උද්ගතව ඇති කඩා වැටීම් මෙන්ම අවුල් සහගත තත්ත්වයන්ද ඊට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. එමෙන්ම රජයේ ඉදිරි ආර්ථික ප්‍රවර්ධන ක්‍රියාවලියේදී අපනයනයට මූලිකත්වයක් ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයාගෙන් මා ඉල්ලා සිටියා.
අපනයනයට සෘජුව සම්බන්ධිත අමාත්‍යාංශ හා ඊට අනුබද්ධ ආයතන හුදකලාව ක්‍රියාත්මක නොවී ඒකාබද්ධ වැඩසටහනකට දායක වීම අපනයන දියුණු කිරීමේදී වැදගත් වෙනවා. මීට පෙර ක්‍රියාත්මක වූ අපනයන සංවර්ධනය සඳහා වූ අමාත්‍ය කමිටුව (EDCM) නැවත ප්‍රතිස්ථාපනය කිරීම මෙහිදී අතිශයින් වැදගත් වෙනවා. එක් එක් අමාත්‍යාංශ හරහා ගත හැකි ඉලක්ක ස්වාධීනව ඉදිරිපත් කිරීමටත්, සෙසු අමාත්‍යාංශ හා ආයතනවල සාමූහික ප්රයත්නය මත ඒවා ක්‍රියාත්මක කිරීමටත් අවස්ථාව හිමිවීම තුළ අපනයන සංවර්ධනය ඉහළ තලයකට ගෙන යෑමට පුළුවන්. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වන බැවින් අපනයනයට අදාළ තීරණාත්මක ප්රවේශයන්ට ළඟාවීමටත් එමගින් හැකියාව ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා." යැයි පවසා සිටියාය.