මෙවර ඉන්ෆොටෙල් ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් එක්කර තිබූ ප්‍රදර්ශන කුටියේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් යන අනාගත දැක්ම යථාර්ථයක් කරගැනීම සඳහා ගෙන තිබෙන පියවර කිහිපයක් ජනතාවට අත්විඳීමට හැකිවූ බව නියෝජිතායතනය පවසයි.
පාසල් ශිෂ්‍ය ප්‍රජාව සඳහා සිය අධ්‍යාපන කටයුතු විධිමත්ව සහ පහසුවෙන් කරගැනීම සඳහා සකස්කර තිබෙන තොරතුරු තාක්ෂණ යෙදවුම් පිළිබඳව සජීව ආකාරයෙන් අත්දැකීම් ලබාගැනීමට මෙම ප්‍රදර්ශන කුටියෙදී අවස්ථාව ලැබී තිබේ.
එසේම, තරුණ තරුණියන්ගේ ජීවිතවලට ඉතා සමීප අන්තර්ජාලය, සමාජජාල මෙන්ම ජංගම දුරකථනය පරිහරණය කිරීමේදී ආරක්ෂාකාරී මෙන්ම සමාජයට හිතකර ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුම්වත් කිරීම් මෙහිදී සිදුව තිබේ.
ජාතික කෞතුකාගාරය නැරඹීමේදී එහි වූ දෑ පිළිබඳව සවිස්තර තොරතුරු මෙන්ම රූපරාමු සහ හඬ සහිතව නරඹන්නන්ගේ පහසුව සඳහා සකස් කරනලද ජංගම දුරකථන යෙදවුමක් පිළිබඳවද මෙහිදී සජීව අත්දැකීමක් ලබාගැනීමට ජනතාවට අවස්ථාව උදාවී ඇත.
තවද, 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය හරහා ලබාගත හැකි මහජන සේවා මෙන්ම ඉ-වාහන ආදායම් බලපත්‍රය ලබාගැනීම පිළිබඳවද මෙහිදී ජනතාව දැනුම්වත් කළ බව නියෝජිතායතනය පවසයි.
මෙහිදී, නරඹන්නන්ට වීඩියෝ ක්‍රීඩාවල නිරතවීමට අවස්ථාව සලසා ඇති අතර, මහ සයුරේ කිමිදෙමින් සජීව අත්දැකීමක් විඳ ගැනීම මෙන්ම, දැඩි බාධක හා දුෂ්කරතා මධ්‍යයේ අනතුරුදායක තත්ත්වයන්ට මුහුණදෙමින් ගොඩනැගිල්ලක් තුළ ගමන් කිරීම වැනි ක්‍රීඩාද ඊට ඇතුළත් කර ඇත.
මෙවර ඉන්ෆොටෙල් ප්‍රදර්ශනයේද ජාතික හවුල්කරු ලෙස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කටයුතු කර තිබේ.