2014 දී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් අපනයනය කිරීම සඳහා දකුණ, නැගෙනහිර, උතුරු මැද හා උතුර පළාත්වල සහල් අපනයන කලාප 04ක් පිහිටුවීමට යෝජනා කර ඇති බව අද (24දා) පාර්ලිමේන්තුවේදී පැවසුණි.
එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් අසන ලද වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට ලබාදුන් පිළිතුරකදී මෙය පැවසුණි.
දකුණු පළාතේ හම්බන්තොට හා සූරියවැවද, නැගෙනහිර පළාතේ නින්දවූර්, අඩ්ඩාලච්චේන, සමන්තුරෙයි, පොතුවිල් හා කල්මුණේ වී මෝල් ඉදි කෙරෙන බවද පැවසුණි. එමෙන්ම, උතුරුමැද පළාතේ තලාව, මැදවච්චිය, රඹෑව, තඹුත්තේගම හා දඹුල්ලත්, උතුරු පළාතේ මන්නාරමේත් මේ වී මෝල් ස්ථාපිත කෙරෙන බව කියවුණි.