මෙරට සතුන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ නිවැරදි දිශාව වෙත රජය ගමන් කරමින් සත්ත්ව ශුභ සාධන පනත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීම ඔටාරා පදනම සතුටින් පිළිගන්නා බවත් මෙම කෙටුම්පත නීතියක් බවට පත්වන තුරු දැඩි අවධානයකින් සිටිමින් එයට අවශ්‍ය මැදිහත්වීම කරන බවත් ඔටාරා පදනම පවසයි.
සත්ත්ව ශුභ සාධන පනත් කෙටුම්පත සඳහා සහයෝගය දැක්වූ ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍යවරයාටත්, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයාටත් මෙම පනත් කෙටුම්පත මේ දක්වා පැමිණීමට අතහිත දුන් රජයේ අනිකුත් නිළධාරීන්ටත් ඔටාරා පදනම ස්තූතිය පුදකර සිටියි. එමෙන්ම, මෙම පනත් කෙටුම්පත සකස්කර එය 2006 වසරේ අනුමැතිය සඳහා රජය වෙත යොමුකළ ශ්‍රී ලංකා නීති කොමිසමට ඔටාරා පදනම සිය කෘතඥතාවය පළකරන අතර, 2010 වසරේදී මෙම පනත් කෙටුම්පත පෞද්ගලික පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේට මෙන්ම මෙම යහපත් වෙනස වෙනුවෙන් උපදෙස් දෙමින් සහයෝගය දුන් සියලුම දෙනාට ඔටාරා පදනම ස්තූතිය පිරිනමයි. තවද, අධිකරණය වෙත ලිඛිත අයදුම් පතක් ඉදිරිපත් කරමින් සත්ත්ව සුබසාධනය වෙනුවෙන් පවතින නීති සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර, ආඥාවක් නිකුත් කරන ලෙසත් සතුන්ගේ ආරක්ෂාව හොඳින් සැලසෙන ලෙස පවතින නීති සංශෝධනය කරන ලෙසත් ඉල්ලා සිටි කණ්ඩායමටද පදනම තුති පුදුයි. මීට අමතරව, මෙම කෙටුම්පත සඳහා අනුමැතිය දෙනමෙන් ඉදිරිපත් කළ මහජන අභියාචනය සඳහා තමන්ගේ අත්සන යොදමින් ඉදිරිපත් වූ 28,000 ක් දෙනාට ඔටාරා පදනම ගෞරවය පුදකර සිටී. මෙම කෙටුම්පත අනුමත කරවා ගැනීමට මෙම පාර්ශ්ව දැක්වූ උනන්දුව සහ කැපවීම මෙම සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන්ම බලපෑ බවද සඳහන් කරන ඔටාරා පදනම මේ සඳහා සහයෝගය දැක්වූ Animal Nepal, PETA Asia සහ Brigitte Bardot යන සංවිධානවලටද ඔටාරා පදනම ස්තූතිය පිරිනමයි.
මෙම සත්ත්ව ශුබසාධන පනත හඳුන්වා දුන්නේ සත්ත්ව හිංසනයට එරෙහිව පවතින 1907 දී හඳුන්වාදුන් අවුරුදු 100 කට වඩා පැරණි නීතිය ඉවත් කර ඒ වෙනුවට වර්තමානයේ සතුන් මුහුණදෙන ගැටලුවට විසඳුමක් ලෙස වඩාත් බලවත් නීතියක් හඳුන්වා දීමේ අරමුණෙනි. බටහිර බොහෝ රටවල් ඉතාමත් සක්‍රීය සත්ත්ව ශුභසාධන නීති හඳුන්වාදී තිබෙන අතර ඉන්දියාව, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි ආසියාතික රටවල්ද සිය සත්ත්ව සුබසාධන නීති අලුත් කර ඒවා ශක්තිමත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ මෙරට ජනතාවගේ කරුණාවන්ත භාවය සැලකීමේදී සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ අනෙකුත් රටවලට වඩා බොහෝ පිටුපසින් බවද ඔටාරා පදනම කියයි.
බොහෝ කාලයක් මහජනතාවගේ අදහස් විමසීමෙන් අනතුරුව නීති කොමිසම විසින් සම්පාදනය කළ සත්ත්ව සුබසාධන කෙටුම්පත මගින් අපේක්ෂා කරන්නේ නව අභියෝගයන් ජයගන්නා අතරම සතුන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ සුබසාධනය වඩාත් හොඳින් සිදුකිරීමය. ජාතික සත්ත්ව සුබසාධන අධිකාරියක් පිහිටුවීම සහ සතුන්ට සිදුවන කෲරත්වය වැලැක්වීමටත්, සත්ත්ව සුබසාධනය ඇති කිරීමටත් අවශ්‍ය වන රෙගුලාසි සහ අචාර ධර්ම මෙහි අන්තර්ගත කර ඇත.
මීට අමතරව, මෙම කෙටුම්පතෙහි 'සත්ත්වයා' යන්න අර්ථ දැක්වීම මිනිසුන් හැර සියලුම කොටස් ඇතුළත් වන ලෙස පුළුල් කර තිබෙන අතර වර්තමාන නීතිය අදාළ වන්නේ අල්ලාගෙන සිටින හෝ ඇතිකරන සතුන් සඳහා පමණි. සතුන් අලෙවිකරන ස්ථාන, සතුන් යොදා පරීක්ෂණ සිදුකිරීම, සතුන් සංදර්ශන සඳහා යොදාගැනීම සහ සතුන් ප්‍රවාහනය කිරීම යන කරුණු වර්තමාන ශ්‍රී ලංකා නීතියට අදාළ නොවේ. මෙම නව පනත් කෙටුම්පතට මෙම කරුණුද ඇතුළත් කර තිබේ.