ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය 38 වැනි සංවත්සරය සමරමින් ආසියාවේ ගමනාන්ත 14ක් සඳහා සිය පාරිභෝගිකයන්ට නොමිලේ ගුවන් ගමන් ප්‍රවේශ පත් 1,000ක් පිරිනැමීමට කටයුතු කර ඇත. මෙම‘Partner Flies Free’ දීමනාව ලබාදීම සඳහා ගුවන් සමාගම, ගෝලීය ගෙවීම් තාක්ෂණයේ ප්රමුඛ සේවාවක් වන Visa සමාගම හා එක්ව කටයුතු කරනු ලබයි. මීට අමතරව ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකු Visa කාඩ්පත් හිමියන්ට විශේෂ දීමනාවක් ලබාදීමටද ශ්‍රීලංකන් ගුවන් සමාගම කටයුතු කර ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ ගුවන් සේවා ඉතිහාසයේ විශාලතම ප්‍රවර්ධන දීමනාව ශ්‍රී ලංකන් පාරිභෝගිකයන් වෙත ලබාදීමට හැකිවීම පිළිබඳව ගුවන් සමාගම ඉතා සතුටට පත්ව ඇති බවත් සිය පාරිභෝගිකයන් හා එක්ව මෙම සංවත්සරය සැමරීමට ගුවන් සමාගමට මෙමගින් හැකිවන බවයි. ගෝලිය ගෙවීම් තාක්ෂණයේ ප්‍රමුඛයා වන Visa සමාගම මෙන්ම අන්තර්ජාතිකව ගෞරවාදරයට පත් ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව හා එක්ව කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව ඉතා සතුටට පත්වන බවත් මෙමගින් ශ්‍රී ලංකන් පාරිභෝගිකයන්ට එකතුකළ වටිනාකම් රැසක් ලබාදීමට හැකිවන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ශ්‍රී ලංකාවේ Visa කලාපීය කළමනාකාර ඇන්තනී වොට්සන් (Anthony Watson) මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයේ 38 වැනි සංවත්සර සැමරුම් හා එක්ව කටයුතු කිරීමට ලැබීම ගෞරවයක් ලෙස සළකන බවයි. මෙම විශේෂ දීමනාව යටතේ වීසා කාඩ්පත් හිමියන්ට මෙම සුවිශේෂී වරප්‍රසාද භුක්ති විදීමින් නොමිලේ ගුවන් ප්‍රවේශපත් ලබාගැනීමට පමණක් නොව ඔවුන්ගේ ප්‍රියතම ගමනාන්තය සඳහාVisa කාඩ්පත යොදාගනිමින් ප්රතිලාභ භුක්ති විදීමට ද හැකිවන බව වොට්සන් මහතා ප්‍රකාශ කර සිටියේය.
මෙම දීමනාව යටතේ මෙරටින් බැහැරව විදේශ සංචාරය කිරීම සඳහා වෙන්කරවා ගන්නා ගුවන් ප්‍රවේශ පත් සඳහා මෙල්බර්න්, බැංකොක්, ක්වාලලම්පූර්, සිංගප්පූරුව, ජකාර්තා, මාලේ ,ගැන් දිවයින (මාලදිවයින), සීෂෙල්ස්,කුන්මින්, හොංකොං, ග්වාන්ෂෝ (කැන්ටන්), විසාකාපට්නම්, හයිද්‍රාබාද්, සහ කොයින්බටූර් යන ගමනාන්ත ඇතුලත් වන බවත් මෙම සෑම ගමනාන්තයක් සඳහාම සීමිත ආසන සංඛ්‍යාවක් වෙන්කර ඇති බවත් පවසයි.
මෙම දීමනාව ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නිකුත් කරන ලද ඕනෑම Visa කාඩ්පතක් මගින් www.srilankan.com වෙබ් අඩවිය හරහා 2017 අගෝස්තු මස 28 සිට සැප්තැම්බර් 6 දක්වා ආසන වෙන්කරවා ගත යුතු අතර 2017 අගෝස්තු මස 28 වැනිදා සිට 2018 මාර්තු 31 වැනිදා තෙක් පමණක් ගුවන් සංචාරය සිදුකළ යුතුය. මේ අනුව නොමිලේ ගුවන් ප්‍රවේශපත් ලබාදීම ආසන වෙන්කරවා ගැනීමේ අනුපිළිවෙල මත (first- come first -served) සිදුකරන අතර ගුවන් මගීන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සඳහා සිදුකරන එක් ආසන වෙන්කරවා ගැනීමකට එක් ගුවන් මගියෙකු වෙනුවෙන් පමණක් නොමිලේ ගුවන් ප්‍රවේශපතක් ලබාගැනීමට අවස්ථාව හිමිවන බවද ඔවුහු පවසති.