ශ්රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරණ පුහුණු වැඩසටහන යටතේ බඳවාගත් අනාගත නායකයන් 21 දෙනෙකු පසුගියදා ජාතික ගුවන් සේවය සඳහා බඳවාගෙන තිබේ. ගුවන්සේවා ඉතිහාසයේ වැඩිම පිරිසක් එනම් අයදුම්පත් තුන් දහසක් මෙවර මෙම කළමනාකරණ පුහුණු වැඩසටහන සඳහා අයදුම් කර තිබූ බවත්, ඒ අතරින් මෙම පිරිස විශේෂිත වූ තෝරාගැනීම් ක්රමවේදයක් ඔස්සේ බඳවාගත් බවත් ඔවුහු පවසති.
කටුනායක ගුවන් තොටුපළ ශ්රී ලංකන් මූලස්ථාන පරිශ්රයේදී පැවත්වූ මෙම පිළිගැනීමේ උත්සවයේදී අදහස් දක්වමින් ශ්රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා සඳහන් කළේ ශ්රී ලංකාවේ විශිෂ්ටතම සන්නාම 10 අතරට ශ්රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට පත්ව ඇති බවයි. එසේම ඔවුන්ගේ නව කළමනාකරණ පුහුණුව යටතේ ඉදිරියේදී ඉතා හොඳ ගුවන් සේවා නායකත්වයක් ලබාගැනීමට හැකියාවක් ලැබෙන බවත්, මෙම කළමනාකරණ පුහුණු වැඩසටහන සඳහා තෝරාගැනීමේ ක්රියාවලියට භාජනය වූ මෙම පිරිස එය ඉතා හොඳින් සමත්වූ බවත් හෙතෙම පැවසීය. එසේම වෙනත් රාජ්ය ආයතනද මෙම ක්රමවේදය අනුගමනය කරනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.