ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් 'වෙළෙඳාම සඳහා ඩිජිටල් පහසුකම්' පිළිබඳ සම්මන්ත්‍රණයක් පසුගිය අගෝස්තු මස 29 වැනිදා එම මණ්ඩලයේදී පවත්වා තිබේ.
සම්මන්ත්‍රණයේ අරමුණු අතර අපනයනකරුවන්ගේ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වන ඉ-ව්‍යාපාර පිළිබඳව දැනුම්වත් කිරීම, ව්‍යාපාරික කටයුතු හා ව්‍යාපාරික ක්‍රියාකාරකම් සඳහා ගෙවීම් ක්‍රමවේදයන් පැහැදිලි කිරීම, වෙළෙඳාම සඳහා ඩිජිටල් පහසුකම් හරහා ශ්‍රී ලංකාවේ අපනයනවල තරගකාරිත්වය පවත්වාගෙන යාම සහ වැඩිදියුණු කිරීම ආදිය පෙන්වාදිය හැකි බව ඔවුහු පවසති.
වෙළෙඳාම සඳහා ඩිජිටල් පහසුකම් පිළිබඳ උනන්දුවක් දක්වන අපනයනකරුවන්, අනාගත අපනයනකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා නිෂ්පාදකයන් ඉලක්ක කරගනිමින් මෙම සම්මන්ත්‍රණය පවත්වා තිබේ.
සම්මන්ත්‍රණයට එක්වෙමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායිකා ඉන්දිරා මල්වත්ත මහත්මිය පවසා සිටියේ 2020 වර්ෂය වනවිට රටෙහි අපනයන බිලියන 20ක් බවට පත්කිරීම සඳහා දැවැන්ත කාර්ය භාරයක් ඇති බවයි. එසේම, ශ්‍රී ලංකාවේ වත්මන් ඩිජිටල් ආර්ථිකය ගොඩනැගීමට රජය සහ පෞද්ගලික අංශය අත්වැල් බැඳගෙන කටයුතු කරන බැවින් මෙම සම්මන්ත්‍රණය ඒ සඳහා ඉතාමත් වැදගත් වන බව ඇය සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඉන්දික ද සොයිසා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය (ව්‍යවසායකත්ව අංශය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨය) ජී.එම්.සී.ජේ බී ගජනායක, ඊබියෝන්ඩ්ස් (පෞද්.) සමාගමේ උප සභාපති කපිල විතානගේ, කාන්පොස් සමාගමේ කළමණාකාර අධ්යක්ෂ සහ අලිබාබා ආයතනයේ මෙරට නියෝජිත අයන්ති ගුරුසිංහ යන මහත්ම මහත්මීන් මෙම සම්මන්ත්‍රණයේදී දේශන සඳහා එක්ව තිබේ.