කොටස් වෙළෙඳ පොළ ඇතුළු මුළු ප්‍රාග්ධන වෙළෙඳ පොළ ආයෝජනය පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, සිරස ටී.වී. නාලිකාව සමග එක්ව ගෙනඑනු ලබන 'ඉසුර' රූපවාහිනී වැඩසටහන් මාලාවේ පළමු වැනි වැඩසටහන 2016 ඔක්තෝබර් මස 23 වැනිදා විකාශනය අරඹයි. ඉන් අනතුරුව සෑම ඉරිදාවකම පෙ.ව. 11.00 සිට 12.00 දක්වා මෙම වැඩසටහන සිරස ටී.වී. තුළින් ඔබ වෙත සමීප වනු ඇති බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසයි.
එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගෝලීය මූල්‍ය වාතාවරණය දිනෙන් දින අඛණ්ඩව වෙනස්වීමට ලක්වන අතර ආයෝජන මෙමවලම්වල සංකීර්ණත්වයද ඉහළ යමින් පවතින ස්වභාවයක් දැකගත හැකි බවය. සුළු පරිමාණ ආයෝජකයන්ට තමන් වෙනුවෙන් සුදුසු සහ ලබාගත හැකි දිගුකාලීන ආයෝජන අවස්ථා මොනවාද යන්න තීරණය කිරීමට සහ අවබෝධ කරගැනීමට ප්‍රධාන මූල්‍ය සංකල්ප පිළිබඳව මනාවූ අවබෝධයක් තිබීම වැදගත් බවද ඔවුන් පෙන්වා දෙයි. ඒ නිසා, මෙම අභියෝගවලට ප්‍රතිචාරයක් වශයෙන් සුරැකුම්පත් නියාමනය සම්බන්ධ ගෝලීය ප්‍රමිති සම්පාදකයා වන සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOSCO) සුළු පරිමාණ ආයෝජකයන්ගේ මූල්‍ය සාක්ෂරතාවය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස්කිරීමට කමිටුවක් පත්කර ඇත. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවද ඉහත සඳහන් කම්ටුවේ (C8) සාමාජිකයකු වන අතර, ප්‍රාග්ධන වෙළෙඳ පොළ හා සම්බන්ධ රූපවාහිනී සහ රේඩියෝ වැඩසටහන් මෙන්ම අඛණ්ඩ පුවත්පත් ලිපි මාලාවන් ('අද' ජාතික පුවත්පත සමග සිදුකරන 'දැනුමෙන් ආයෝජනයට' ලිපි මාලාවද සමග) සහ විවිධ පාර්ශවකරුවන් සඳහා වූ සම්මන්ත්රණ සහ වැඩමුළුද ඇතුළුව පුළුල් ආයෝජක අධ්‍යාපනික වැඩසටන් මාලාවක් දියත් කර ඇත.
කොටස් වෙළෙඳ පොළ ඇතුළු ප්‍රාග්ධන වෙළෙඳ පොළ ආයෝජනය පිළිබඳ දැනුවත්භාවය පුළුල් කිරීම සඳහා ප්‍රබල කාර්යභාරයක් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යය මගින් ලබාදෙන අතර, වෙළෙඳ පොළ තුළ අවංකභාවය ආරක්ෂා කිරීමට මෙන්ම ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ වඩා දැනුම්වත් ආයෝජන තීරණ ගැනීමට හැකි වටපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව අඛණ්ඩව රූපවාහිනී වැඩසටහන් කිහිපයක් විකාශනය කරනලද බවද සිහිපත් කරයි. ඒ අනුව, මෙම නව රුපවාහිනී වැඩසටහන් මාලාව 'ඉසුර' සඳහාද සුරැකුම්පත් කර්මාන්තයේ නියුතු ප්‍රවීණ විද්වත් කණ්ඩායමක් සාකච්ඡා සඳහා යොදාගැනෙන අතර, ඔවුන් විසින් ප්‍රාග්ධන වෙළෙඳ පොළ හා සම්බන්ධ කාලීන වශයෙන් ඉතා වැදගත් මාතෘතා රැසක් සාකච්ඡා සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වේ. මෙම සාකච්ඡා, සියල්ලන්ටම තේරුම්ගත හැකි ආකාරයෙන් ඉතා සරලව පැවැත්වෙන අතර කොටස්, ණයකර සහ ඒකක භාර ආයෝජනයේ ඇති ප්රතිලාභ සහ අවදානම පිළිබඳ මෙන්ම කොටස් වෙළෙඳ පොළ වර්තමාන තත්ත්වය පිළිබඳව වැදගත් තොරතුරු සපයනු ඇති බවද පෙන්වා දෙයි. මෙම වැඩසටහන් මාලාව සජීවී ප්‍රේක්ෂකාගාරයකින් යුතු වන අතර ඔවුන්ට සාකච්ඡාව තුළ පැන නඟින ගැටලු ඍජුවම විද්වත් මණ්ඩලය වෙත යොමු කිරීමටද අවස්ථාව සැලසෙනු ඇති බවද පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය 93.3% ක අගයක් ගත්තද, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් වර්ගීකරණ සේවා ආයතනයේ ගෝලීය මූල්‍ය සාක්ෂරතා සමික්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය අතර මූල්‍ය සාක්ෂරතා අනුපාතය 35% ක පවතී. ඒ අනුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ගෙන එන මෙම 'ඉසුර' වැඩසටහන තුළින් ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳව මනාවූ දැනුමක් ලබාදීමට හැකියාව ලැබෙන අතර, සමාජයේ සියලුම පාර්ශ්වයන් දැනුම්වත් කිරීමටත් හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම දැනට කොටස් ආයෝජනයේ නිරත වන්නන්, ආයෝජනය සඳහා හැකියාවක් සහ බලාපෙරොත්තු වන්නන්, උපාධි අපේක්ෂකයන් මෙන්ම පාසල් සිසුන්ටද ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳ පුළුල් දැනුමක් ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවද පෙන්වා දෙයි.
මෙම වැඩසටහන වෙනුවෙන්ම වෙන්කළ දුරකථනයක්ද සූදානම් කෙරෙන අතර වැඩසටහන නරඹන්නන්ට ප්‍රශ්න ඇසීමටත් අවස්ථාවක් ලැබෙනු ඇත. ඊට අමතරව එක් එක් වැඩසටහන අතරතුරදී නරඹන්නන්ට ප්‍රශ්නයක් යොමු කෙරෙන අතර ඒ සඳහා නිවැරදි පිළිතුරු සපයා රු.50,000/- ක් දිනාගැනීමටද අවස්ථාව සැලසී ඇත.
මෙම රූපවාහිනී වැඩසටහන් මාලාවේ පළමු වැනි වැඩසටහන සඳහා සහභාගී වන විද්වත් මණ්ඩලයට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන සහ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන මහත්වරුන් ඇතුළත් වන අතර විද්වත් මණ්ඩලයේ සාකච්ඡාවට බඳුන් වන කරුණු අතර කොටස් වෙළෙඳ පොළ වර්තමාන තත්ත්වය, වෙළෙඳ පොළ නියාමනය සහ ප්‍රාග්ධන වෙළෙඳ පොළ ඉදිරි දැක්ම යනාදිය ප්‍රධාන වේ.