ඉන්දියාවේ වී.වී.ගිරි ශ්‍රම අධ්‍යයන ආයතනයේදී මෙම මස 20 සිට 27 වැනිදා තෙක් පැවැත්වෙන පුහුණුවක් සඳහා කම්කරු නිලධාරීන් කණ්ඩායමක් පිටත් කර යැවීමට කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා ඊයේ (17දා) පියවර ගෙන තිබේ.
මේ දිනවල කම්කරු නිලධාරීන් අඛණ්ඩ වැඩවර්ජනයක නිරතව සිටින අතර මෙම පුහුණුව සඳහා තෝරාගෙන ඇත්තේ එම වැඩ වර්ජනයට සහභාගී නොවී සේවයට වාර්තා කර ඇති කම්කරු නිලධාරීන්ගෙන් පිරිසක් බවත්, මෙලෙස පිටත් කර හැරෙන කණ්ඩායමට කම්කරු නිලධාරීන් 13 දෙනෙකු ඇතුළත් වන බවත් කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි.
අදාල කණ්ඩායමට අවශ්‍ය කෙරෙන ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම ඊයේ පස්වරුවේ නාරාහේන්පිට කම්කරු අමාත්‍යාංශයේදී සිදුකෙරුණු බවද අමාත්‍යාංශය පවසයි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්නමහතා කියා ඇත්තේ බොහෝ කම්කරු නිලධාරීන්ට විදෙස් පුහුණු අවස්ථා නොලැබෙන බවයි. මේ තත්ත්වය වෙනස් කිරීම තම අරමුණ බවද පවසා ඇති අමාත්‍යවරයා, මේ වනවිටත් රුසියාවේ සහ දකුණු කොරියාවේ පුහුණු අවස්ථා සඳහා මෙරට කම්කරු නිලධාරීන් යැවීම කෙරෙහි තම අවධානය යොමු කර ඇති බවද පෙන්වාදී තිබේ.
ගුවන් ටිකට්පත් ප්රදානය කිරීමේ අවස්ථාවට කම්කරු රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, කම්කරු අමාත්‍යාංශයේ ලේකම්එස්.එම්. ගෝඨාභය ජයරත්න, අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් සී.එන්.විතානච්චි, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සමන් වඩුගේ යන මහත්වරුද එක්ව සිටි බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.