2030 තිරසර සංවර්ධන සැලැස්ම හේතුවෙන් ආසියානු රටවලට ඇ.ඩො.ට්‍රිලියන 05ක වෙළෙඳ අවස්ථා හිමිවන බව UNIDO නිත්‍ය නියෝජිත ආචාර්ය රෙනේ වෑන් බර්කල් මහතා පැවසීය.
එක්සත් ජාතින්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) විසින් සංවිධානය කරනු ලැබූ තිරසාර සංවර්ධනය පිළිබඳව කර්මාන්තකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් එහි නිත්‍ය නියෝජිත ආචාර්ය රෙනේ වෑන් බර්කල් මහතා මෙම කරුණු අනාවරණය කළේය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහභාගීත්වයෙන් සතොස මූලස්ථානයේදී මෙම වැඩසටහන පැවැත්වුණු අතර, එහිදී, 2030 වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝකය පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත තිරසර සංවර්ධන සැලැස්ම හා එම සැලැසුම තම ව්‍යාපාර සඳහා ආදේශ කරගන්නා ආකාරය පිළිබඳව කර්මාන්තකරුවන් දැනුම්වත් කර තිබේ.
මෙම සැලැස්මට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කර්මාන්ත සඳහා ජාත්‍යන්තර ප්‍රමීතීන් හඳුන්වාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇති අතර, මෙම තිරසර වැඩසටහන් සැලැස්මට ඉලක්ක 17ක් අයත් බව කියයි. ඒ අතරින් දුගීභාවය තුරන් කිරීම, සෞඛ්‍ය ක්ෂේත්රය නඟා සිටුවීම, දළ ජාතික නිෂ්පාදිතය සඳහා කර්මාන්තවල දායකත්වය වැඩි කිරීම, කාර්මික ක්ෂේත්රයේ රැකියා නියුක්තිය වැඩි කිරීම, අගය එකතු කළ නිෂ්පාදන ප්‍රතිශතය වැඩි කිරීම වැනි ඉලක්ක ප්‍රධාන බව ඔවුහු වැඩිදුරටත් පවසති.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා, &ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රයේ ශීඝ්‍ර වර්ධනයක් පසුගිය කාලයේ පෙන්නුම් කර තිබෙනවා. අපේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 30%ක දායකත්වයක් කර්මාන්ත අංශයෙන් ලබාදෙනවා. එය ජපානය ඔස්ට්‍රියාව, ස්පාඤ්ඤය වැනි දියුණු රටවලින් ලබාදෙන අනුපාතයට සමානයි. රටක ආර්ථික සංවර්ධන දැක්මේ ප්‍රධාන ස්ථානයක් අපනයන ක්ෂේත්රයට හිමිවෙනවා. ඒ නිසා අපනයන සම්බන්ධ කර්මාන්තවල වැදගත්කම තවත් වැඩිවෙනවා. පසුගිය 2016 වසරේදී ඇ.ඩො.බිලියන 7.7ක් වටිනා කාර්මික අපනයන අප සිදුකළා. එය අපගේ සමස්ත අපනයන ආදායමෙන් තුනෙන් දෙකක අගයක් ගන්නවා* යැයි පැවසීය.
එක්සත් ජාතින්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) විසින් ඇ.ඩො.මිලියන 10ක ව්‍යාපෘති මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන අතර, මෙම අවස්ථාවට යුනිඩෝහි විශේෂ නියෝජිත පිරිසක්, කර්මාන්තකරුවන්, රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරීන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.