ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සඳහා භාවිත කරන ලයිලා සහ සුරුක්කු දැල් යොදා සිදුකරනු ලබන මත්ස්‍ය කර්මාන්තය වහාම තහනම් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ පසුගිය 05 වැනිදා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා,
"කිමිදුම්කරුවන් යොදා මසුන් ඇල්ලීමත් මේ පන්න ක්‍රමයට අයත් වන නිසා එයද තහනම් කරනවා. යම් අවස්ථාවක මෙම ක්‍රම මගින් ධීවර කර්මාන්තයේ යෙදුණහොත් එකී ආම්පන්න හා බෝට්ටු රාජසන්තක කරනවා.
ඒ වගේම, ඩයිනමයිට් යොදා මසුන් මරන අයට විරුද්ධව, පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරනවා. ඩයිනමයිට් යොදා මරන මාළු විකුණන අයත්, ප්‍රවාහනය කරන අයත්, අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය උපදෙස් අදාළ නිලධාරීන්ට හා ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් මේ පන්න ක්‍රමය වෙනුවට විකල්ප පන්න ක්‍රම හඳුන්වා දීමටත්, ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීමත් ලබාදෙනවා. රටක් විදියට නීතිය ක්‍රියාත්මක කරන අතර, එක් පාර්ශ්වයකට, එක් ප්‍රදේශයකට සහ දේශපාලනඥයකුගේ උවමනාව මත ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ඉඩ ලබාදෙන්නේ නෑ.
ඒ නිසා නීති විරෝධීව කටයුතු සිදුකරන අය අත්අඩංගුවට ගැනීමේදී සහ නීතිමය කටයුතුවලදී අදාළ බලධාරීන්ට කිසිදු දේශපාලන බලපෑමකට යටත් නොවී, ඒ පිළිබඳව ස්වාධීනව කටයුතු සිදු කරන ලෙසත් එම නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. එසේ යම් බලපෑමක් කළොත් ඒ පිළිබඳව වහාම මා දැනුවත් කරන ලෙසත් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා." යැයි පවසා සිටියේය.