රු.2,500/- අවම දඩය සම්බන්ධයෙන් මාධ්‍ය තුළින් වැරදි අර්ථ කථනයක් ලබාදී ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
අද පැවැත්වීමට නියමිතව තිබූ පුද්ගලික බස් වර්ජනයට මැදිහත් වෙමින් ඊයේ (14දා) මුදල් අමාත්‍යාංශයේදී මුදල් අමාත්‍යවරයා පුද්ගලික බස් සංගම් නියෝජිතයන් හමුවීමෙන් අනතුරුව මෙම අදහස් පළ කර තිබේ. එහිදී, වැඩිදුරටත් අදහස් දක්වා තිබූ මුදල් අමාත්‍යවරයා,
"රු.2500/- ගැන මාධ්‍ය තුළින් වැරදි අර්ථ කථනයක් දීල තියෙනව කියන එක අපට පේන්න තියෙනවා.
ඒ නිසා මේ සියලු දෙනාම කාරුණික ඉල්ලීමක් කළා. ඒ නිසා අද (15දා) මේ කාරණය යළිත් කැබිනට් මණ්ඩලයට ගෙනිහිල්ල, ඒ ගැන සාකච්ඡා කරල, තීරණයක් ගන්න අපි තීන්දු කරල තියෙනවා.
මේ සම්බන්ධයෙන් සැබෑ ස්වරූපය වන්නේ නීත්‍යනුකූලව කටයුතු කිරීමයි. නමුත්, මෙතනදි එය අභිභවා යෑමක් අපිට පේන්න තියෙනවා.
ඒ නිසා මේකට නිකරුණේ ප්‍රකාශ කරන්නෙ නැතිව, අද කැබිනට් මණ්ඩලයට කතා කරල අංග සම්පූර්ණ උත්තරයක් අරන් දෙනවා. ඒ අයත් වෙනත් විකල්ප අදහස් දීල තියෙනවා. ඒවත් අපි ගණනය කරල කටයුතු කරනව කියන එක තමයි මේ අවස්ථාවේ කියන්න තියෙන්නෙ.
ඒ ගොල්ලන්ට ඕනෙ නම් වර්ජනය කරන්න කියන්න. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. මේක වැරදි විදියට මාධ්‍ය තුළින් දීල තියෙනව කියන එක තමයි ඒයාලත් කියන්නෙ. ඉතිං ඒක නිවැරදි කිරීම අපේ යුතුකමක්. නමුත්, මේක සම්පූර්ණයෙන්ම නීතියට පටහැනිව ක්‍රියාත්මක වෙන්න නෙමෙයි, නීතිය ක්‍රියාත්මක කරන්න අපි කිසිම අඩුවක් කරන්නෙ නැහැ. ඒක වෙනසක් කරන්නෙ නැහැ." යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
කෙසේ වෙතත්, පසුගිය 13දා මුදල් අමාත්‍යාංශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්,
මාර්ග නීති පිළිබඳව විනයක් හා ගරුත්වයක් ජනතාව තුළ ඇතිකිරීමේ රජයේ ක්රමෝපායන් ලෙස අයවැය මගින් වාහන නීති කඩකරන්නන්ට එරෙහිව පනවන ලද රු.2500/- යේ අවම දඩ මුදල ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළෙහි කිසිදු වෙනසක් කරන්නේ නැතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසා තිබුණි.
මාර්ග නීති රීති නොසලකා හැරීම ඇතුළුව නීති උල්ලංඝනය කිරීම් රටේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්, අයවැය සකස්කිරීම සඳහා ලැබූ යෝජනාවලින් 90% කින් පමණම ජනතාව ඉල්ලා සිටියේ රටේ සියලු ක්ෂෙත්රයන්හි විනය ඇතිකිරීම හා නීතිය පිළිපැදීමට ජනතාව යොමු කළ යුතුයි යන්න බවත් එහි සඳහන් විය.
මාර්ග නීති උල්ලංඝනය කිරීමට එරෙහිව අය වැය මගින් පනවන ලද රු 2500/- අවම දඩය ඉවත් කරන මෙන් පුද්ගලික බස් සංගමයක් විසින් කරන ඉල්ලීම පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කළ මුදල් අමාත්‍යවරයා මෙය පනවන ලද්දේ දහස් ගණන් මෝටර් රථකරුවන්ගේ හා පදිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා යැයිද පවසා තිබුණි.
පුද්ගලික බස් ධාවකයන් මෙතරම් නීතියට එරෙහිවන්නේ ඇයි දැයි විමසූ මුදල් අමාත්‍යවරයා මාර්ග නීති නිරතුරුව කඩකරන්නේ ඔවුන් යැයි ඔවුන්ම පිළිගන්නා බව මෙයින් ඔප්පු වන්නේ යැයි ද පවසා තිබුණි.
පොලිස් වාර්ථාවලට අනුව මෙම වසරේදී මේ වනතෙක් රිය අනතුරුවලින් 3000 ට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙමගින් ශ්‍රී ලංකාවේ පාරවල් ලොව අවදානම් මාර්ග බවට පත්ව ඇති බවත්, මෙය අප වෙනස් කළ යුතු බවත් පවසා තිබුණි. තවද මෙය යුද්ධය හේතුවෙන් වසරකට මියගිය සංඛ්‍යාව අභිභවා යෑමක් බවද එහි සඳහන් කෙරිණි.
මෙම අවම දඩමුදල් නියම කිරීමට විරුද්ධවීම හරහා මිනිසුන් අනතුරුවලින් මරුමුවට පත්කිරීම වෙනුවෙන් නීතියෙන් මුක්තිය ලබාදෙන්නැයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින බවක් පෙනෙන බවද එහි සඳහන් විය.
අයවැය වෙනුවෙන් ලැබුණු යෝජනා පිළිබඳව ජනතාව සමග සාකච්ඡා කළ අවස්ථාවේදී මාර්ගයේ සිදුවන අනතුරු අවම කිරීම සඳහා සහ විනයක් ගෙන ඒමට වහා පියවර ගත යුතු යැයි ඉල්ලා සිටින ලද බවද එහි සඳහන් වූ අතර, මාර්ග නීති කඩ කරන්නන්ට එරෙහිව තද බල නීතිගෙන ඒමේ අවශ්‍යතාව පිළිබඳව සමාජයේ සියලු පාර්ශ්වයන් එකාමෙන් රජයෙන් ඉල්ලා සිටි බවත්, එමගින් වාහන භාවිත කරන්නන් පමණක් නොව පදිකයන්ද ආරක්ෂා වන බවත් රජය සමග සාකඡා කළ ජනතාව පෙන්වා දුන්නේ යැයිද කියා තිබුණි.
මාර්ග නීතිය යටතේ අවම දඩය වැඩි කළේ රජයට ආදායම් මාර්ගයක් ලෙස නොව රියදුරන් මාර්ග නීති කඩ කිරීම වළක්වාලීම සඳහා වන උපක්‍රමයක් ලෙස හා මාර්ගය ආරක්ෂා සහිත කිරීම සඳහාත් බවත් එකි කියවුණි. එහෙයින් මාර්ග නීති කඩ නොකරන රියදුරන් හෝ වාහන හිමියන් කිසිවෙකුත් මෙසේ දඩ මුදල් වැඩිකිරීම සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත්, මාර්ග නීති කඩ කරමින් අනතුරු දායක ලෙස රිය පදවන්නන් දඩ ගෙවීම සිදු කළයුත්තක් බවත් සඳහන් විය.
මාර්ගයේ වාහන තද බද අතිවන්නේ ද විනය විරෝධීව රිය පදවන්නන් නිසා යැයි පොලිසිය විසින් නිරීක්ෂණය කර ඇති බවද එහි වැඩිදුරටත් සඳහන් විය.
මේ අතර, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව බස් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඊයේ (14දා) පවසා තිබුණි.