මෙරට රාජ්‍ය සේවකයන් කෙටිකාලීන පුහුණුවක් සඳහා ජපානය වෙත යැවීම සඳහා යෝජනාවක් ජපානය වෙත කෙරුණු බවත්, ඒ වෙනුවෙන් ඉදිරියේදී සහයෝගය ලබාදීමට ජපානය බලාපොරොත්තු වන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක යන මහත්වරු අතර පසුගියදා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී සිදුවූ හමුවකදී මෙම කරුණු සාකච්ඡා වී තිබේ.
එම අවස්ථාවේදී මෑතකාලීනව ජපානය අත්පත් කරගෙන ඇති මානව සම්පත් සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු වූ අතර, මෙරට මානව සම්පත් සංවර්ධනය සඳහාද ජපන් රජයේ සහයෝගය ලබාදීමට සාකච්ඡා සිදුවිය. එමෙන්ම, ජපන් රාජ්‍ය සේවකයන් තුළ ඇති කාර්යක්ෂමතාව, අකුරට වැඩකිරීම ආදී කරුණුද, ජපන් ආධාර මත අන්නාසි වැනි වගාවන් ප්‍රවර්ධනය සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයේ අවධානය යොමුවිය.
එහිදී, මෙරට රාජ්‍ය සේවකයන් කෙටිකාලීන පුහුණුවක් සඳහා ජපානය වෙත යැවීමට අමාත්‍යවරයා විසින් තානාපතිවරයා වෙත යෝජනාවක්ද ඉදිරිපත් කරනලද අතර, ඒ පිළිබඳව ඉදිරියේදී සහයෝගය ලබාදීමට ජපාන තානාපතිවරයා එකඟ වී තිබේ.