තමන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය දැරූ කාලය තුළ රටේ රාජ්‍ය ණය ප්‍රෝඪාකාරී ලෙස අවකළමනාකරණය කරමින් රජයේ සුරැකුම්පත් නිකුත් කර ඇති බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර මුදල් අමාත්‍යාංශය මෑතකදී එල්ලකොට ඇති චෝදනා පදනම් විරහිත, අසත්‍ය සහ ලාමක ඒවා වශයෙන් තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
එවකට අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරය දැරූ කාලයේදී රාජ්‍ය ණය අවකළමනාකරණයක් සිදුකරමින් රජයේ සුරැකුම්පත් නිකුත් කර ඇති බවට මුදල් අමාත්‍යාංශය සිදුකර ඇතැයි පැවසෙන චෝදනාවලට පිළිතුරු වශයෙන් හෙතෙම මෙසේ අදහස් දක්වා තිබේ. එහිදී, වැඩිදුරටත් අදහස් දක්වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
"අධිපතිවරයා වශයෙන් මා සේවය කළ කාලය තුළදී, අප රටේ රාජ්‍ය ණය ප්‍රෝඪාකාරී ලෙස අවකළමනාකරණය කරමින් රජයේ සුරැකුම්පත් නිකුත් කර ඇතැයි, කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරමින් මුදල් අමාත්‍යාංශය මෑතකදී එල්ල කොට ඇති චෝදනා, පදනම් විරහිත, අසත්‍ය සහ ලාමක ඒවා වශයෙන් මා තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ අතරම, සියලුම බැඳුම්කර නිකුතු කර ඇත්තේ සියලු නීතිරීතිවලට අනුකූලව බවද, පාරදෘශ්‍ය භාවයකින් බවද, දැනටමත් මහ බැංකුව 2017.03.02 දින ප්‍රකාශ කොට තිබෙනවා. තවද, වසර 9කට ආසන්න මාගේ නිල කාලය සමයේදී මහ බැංකුව එසේ කරද්දී, එම නිකුතු සිදුවූයේ රජයේ ණය ගැනීමේ පිරිවැය අවම කරගන්නා පදනම මත බවද මේ අවස්ථාවේදී මා පැහැදිළිවම ප්‍රකාශ කරනවා. සෑම වසරක් පාසාම විගණකාධීකාරීවරයා විසින් ලබාදී ඇති වාර්ෂික විගණන වාර්තාවලින්ද, 2017.01.16 වැනි දින විගණකාධීකාරීවරයා විසින් නිකුත් කරනලද විශේෂ වාර්තාවෙන්ද, මාගේ සහ මහ බැංකුවේ ප්‍රකාශ මනා ලෙස තහවුරු වී තිබෙනවා.
මගේ මතය අනුව, යහපාලන රජයේ මුදල් ඇමතිවරයාගේ මඟපෙන්වීම පරිදි, මුදල් අමාත්‍යාංශය විසින් මෙවැනි අවලාදයක් සිදුකර ඇත්තේ පසුගිය රජයේ ආර්ථිකය හැසිරවූ මුදල් ඇමති, මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් විසින් දිනාගෙන තිබූ ආර්ථික ජයග්‍රහණවලට යන්තමින් හෝ ළඟාවීමටවත් වර්තමාන පාලකයන්ට නොහැකි වීම නිසා, ඔවුන් තුළ පැන නැගී ඇති දැඩි ආතතිය සහ ඊර්ෂ්‍යාව නිසා විය හැකියි. මා ඒ නිගමනයට පිවිසෙන්නට පහත දක්වා ඇති කරුණු දැක්වීමට පුළුවන්.
2015 දී නිකුත් කරනලද සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය ආර්ථික පාලනාධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2005 දී තිබූ ඇ.ඩො.බිලියන 24 සිට 2014 වනවිට ඇ.ඩො. බිලියන 80ක් දක්වා දැවැන්ත වර්ධනයකට ගෙන ගියා. ඒ කාල පරාසය තුළදී ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 1,242 සිට ඇ.ඩො. 3,853 දක්වා ඉහළ නැංවුණා. 2009 සිට 2014 දක්වා වසර 5 තුළදී, ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ආර්ථික වර්ධන වේගය වාර්තා කරමින් වසරකට 6.5% ක සාමාන්‍ය වර්ධනයක් අත්පත් කරගත්තා. 2008 සිට 2014 දක්වා වසර 6 තුළදී උද්ධමනය මැදි තනි ඉලක්කමකට සීමා කළා. ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම යටිතල පහසුකම් සංවර්ධනය ක්‍රියාත්මක කරන අතරම, 2005 දී 91%ක් වශයෙන් වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව පැවති අධික ණය ප්‍රතිශතය, 2014 වනවිට වඩාත් යහපත් 70% දක්වා දක්ෂ කළමණාකාරිත්වය ඔස්සේ අඩුකර ගනු ලැබුවා. 2005 අග වනවිට ඇ.ඩො.මිලියන 2,735ක් වූ විදේශ සංචිතය, 2014 අග වනවිට ඇ.ඩො.මිලියන 8,208ක් දක්වා වැඩිකර ගනු ලැබුවා. 2014 දී විදේශ ගෙවුම් ශේෂය (Balance of Payments) ඇ.ඩො. මිලියන 1,369 ක දැවැන්ත අතිරික්තයක් වාර්තා කළා. 1977 දී ආර්ථිකය විවෘත කළායින් පසු, රුපියලේ අවම අවප්‍රමාණය වාර්තා කරමින්, 2006 සිට 2014 දක්වා රුපියලේ අගය ස්ථායී ලෙස පවත්වාගෙන යනු ලැබුවා. 2014 අගවන විට මාස 3 සිට අවුරුදු 30 දක්වා රජයේ සියලු සුරැකුම්පත්වල පොළී අනුපාතය ස්ථායී ආකාරයට පවත්වා ගනිමින්, 5.7% සිට 9.3% අතර පරාසයකට අඩුකර ගනු ලැබුවා. මේ යහපත් ප්‍රතිඵල හරහා, රටේ ණය ශ්‍රේණිය (Credit Rating) ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගියා. තවද, ආර්ථික විශ්වසනීයභාවය තහවුරු වනවාත් සමගම විදේශ ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළේ සහ රජයේ සුරකුම්පත්වල ආයෝජනය විශාල වශයෙන් වැඩිකර ගනු ලැබුවා. සෘජු විදේශීය ආයෝජන (Foreign Direct Investments) ක් ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින්, 2014 වසරේදී ඉතිහාසයේ වැඩිම අගය වූ ඇ.ඩො. මිලියන 1,616ක් දක්වා වැඩිකර ගනු ලැබුවා. සමස්තයක් වශයෙන් මුළු ලෝකයම කම්පාවට පත්කළ ආර්ථික, මූල්‍ය, තෙල් සහ ආහාර අර්බුදවලට සාර්ථකව මුහුණ දෙමින්ද, ජාතික වශයෙන් ත්‍රස්තවාදී යුද්ධයද, බැංකු කඩා වැටීමේ අවදානමද සමනය කරමින්ද, සූක්ෂම සහ ප්‍රායෝගික ලෙස ආර්ථිකය හසුරුවනු ලැබුවා. ඒ හේතුවෙන්, ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල වූ සියලු අභියෝග ජනතාවට කාන්දු නොවන ලෙසට ආර්ථිකය පාලනය කරනු ලැබුවා.
එහෙත්, ඉහත කී තත්ත්වයට හාත්පසින්ම වෙනස් ආර්ථික තත්ත්වයක් අද අපට පෙනී යනවා. නව යහපාලන රජය යටතේ ආර්ථිකයේ වර්ධනය දැවැන්ත ලෙස කඩා වැටී තිබෙනවා. උද්ධමනය දිනපතාම ඉහළ යමින් පවතිනවා. දළ දේශීය නිෂ්පාදිතයට සාපෙක්ෂව රාජ්‍ය ණය ප්‍රමාණය 2015 අග වනවිට 76% දක්වා නැවත වැඩිවී ඇති අතර, 2016 අග වනවිට එම ප්‍රතිශතය 82% දක්වා තවදුරටත් වැඩිවෙතැයි විශ්ලේෂකයන් පවසනවා. යටිතල පහසුකම් සංවර්ධනය අතිශයින් මන්දගාමී මට්ටමකට වැටී තිබෙනවා. විදේශ සංචිත 2017 ජනවාරි මස අග වනවිට ඇ.ඩො.මිලියන 5,453ක් දක්වා දැඩි ලෙස කඩා වැටී තිබෙනවා. 2015 දී විදේශ ගෙවුම් ශේෂය අප රට ඉතිහාසයේ විශාලතම හිඟය වන ඇ.ඩො.මිලියන 1,489ක් වාර්තා කොට තිබෙනවා. රුපියලේ අගය දිනපතාම පාහේ අවප්‍රමාණය වෙමින් පවතිනවා. පසුගිය වසර 2ක කාලය තුළදී, රජයට විශාල බරක් පටවමින් සියලු භාණ්ඩාගාර පොලී අනුපාත දෙගුණ වීමට ආසන්න වී තිබෙනවා. රජයේ සුරැකුම්පත්වලින් ඇ.ඩො.බිලියන 2.5ක පමණ මුදලක් මේ වනවිටත් විදේශීය ආයෝජකයන් ඉවත් කරගෙන තිබෙනවා. කොටස් වෙළෙඳ පොළ දැවැන්ත පරිහාණියකට පත් වී ඇති අතර, කොටස් වෙළෙඳ පොළ ප්රාග්ධනය රුපියල් බිලියන සිය ගණනින් අඩුවී තිබෙනවා. 2016 වසරේදී විදේශීය සෘජු ආයෝජනය ඇ.ඩො. මිලියන 400ක පමණ අගයකට නොසිතූ ආකාරයට කඩා වැටී තිබෙනවා. ඒ අතරම, ජනතාව, පෞද්ගලික අංශය සහ ආර්ථිකය මත නව බදු සහ අනිකුත් දුෂ්කරතා පැටවීමෙන්ද, විවිධ මහා පරිමාණයේ ප්‍රෝඩා සහ වංචා හෙළිවීම තුළින්ද, රටේ ආර්ථිකය තව තවත් අස්ථායීභාවයට පත්වෙමින් පවතිනවා.
යථාර්ථය මෙසේ තිබියදීත්, පසුගිය රජයට අසත්‍ය සහ ද්වේශසහගත චෝදනා එල්ල කරනවා මිස, යහපාලන ආර්ථික කණ්ඩායම රටේ දැවෙන ආර්ථික ප්‍රශ්නවලට පිළිතුරු සොයා ආර්ථිකය නංවාලීමට කිසිදු උත්සාහක් ගන්නා ආකාරයක් පෙනෙන්නෙ නැහැ. ඒ හේතු කොටගෙන ශ්‍රී ලංකා ආර්ථිකය, මීට පෙර ඉතිහාසයේ කිසිවිටෙකත් භාජනය නොවූ දැවැන්ත අගාධයකට නොබෝ කලකින් පිවිසෙනු නොඅනුමානයි."