ශ්‍රී ලංකාවේ කුඩා ගොවීන් දේශගුණික විපර්යාසයන්ට අනුගත කිරීමේ ඒකාබද්ධ ජල කළමනාකරණ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ හරිත දේශගුණික අරමුදල මගින් ඇ.ඩො.මිලියන 38ක ප්‍රදානයක් ලබාදීමට පසුගිය 29 වැනිදා පැවති එම අරමුදල් රැස්වීමේදී තීරණය කර ඇති බවත්, එය තම අමාත්‍යාංශයට දැනුම්දී ඇති බවත් මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේය.
මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේදී පසුගිය 30 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ මෙම ආධාර මුදල ලබාගැනීමට හැකිවීම ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් බවය.
එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඔවුන් මේ වෙනුවෙන් සකස් කළ ව්‍යාපෘතියක් එකී අරමුදල වෙත පසුගිය මාසයේදී භාරදුන් බවයි. එහිදී, ලෝකයේ තවත් බොහෝ රටවල් ආධාර ඉල්ලා තිබුණත්, ඒ සැමට කලින් අප ව්‍යාපෘති යෝජනාවට මුදල් ආධාර ලබාදීමට එක්සත් ජාතීන්ගේ හරිත දේශගුණික අරමුදල තීරණය කිරීම අපට විශාල සතුටක් බවත් හෙතෙම පැවසීය. මේ ආධාර මුදල උපයෝගී කරගෙන වකුගඩු රෝගය පිළිබඳ අවධානමක් ඇති වියළි කලාපයේ ජනතාවට පිරිසුදු ජලය ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.