මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් දියත් කිරීමට නියමිත උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ මූලික ඉදිකිරීම් කටයුතු එළැඹෙන අගොස්තු මාසය අවසන් වීමට පෙර ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාතංශයේ අතිරේක ලේකම් ජනක කුරුකුලසූරිය මහතා පවසයි.
අතිරේක ලේකම්වරයා මෙම අදහස් පළ කර ඇත්තේ මහනුවර නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවති විශේෂ රැස්වීමකදීය.
මහනුවර නගරය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව මගින් ඇ.ඩො.මිලියන 100ක මුදලක් ලබාදීමට එකඟත්වය පළ කොට තිබෙන අතර, ඒ යටතේ මහනුවර අවට තදාසන්න ප්‍රධාන මාර්ග තුනක් සංවර්ධනය කිරීමට නියමිතය. එම මාර්ග අතරින් ප්‍රධානතම මාර්ගය වන්නේ ගැටඹේ සිට ගොහාගොඩ හරහා කටුගස්තොට දක්වා දිවෙන මාර්ගයයි. ඊට අමතරව කටුගස්තොට මැදවල මාර්ගය සහ ධර්මාශෝක මාවතද සංවර්ධනය කිරීමට නියමිතය.
මෙම මාර්ග ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් කට්ටි අත්පත් කර ගැනීමේ කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතින අතර, එම ඉඩම් කට්ටි තක්සේරු කොට වන්දි ගෙවීමටද කටයුතු යොදා තිබේ. ඒ වෙනුවෙන් තක්සේරු දෙපාර්තමේන්තුව සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුව කඩිනම් වැඩපිළිවෙළක් මේ වනවිටත් දියත් කොට තිබේ.
මහනුවර නගරය සහ අවට ප්‍රදේශවල රථ වාහන තදබදය අවම කිරීම, පාරිසරික පද්ධතිය රැකගැනීම සහ මහනුවර නගරයේ ඓතිහාසික බව රැකගනිමින් අලංකාරවත් නගරයක් බවට පත් කිරීම යන මූලික අරමුණු පෙරදැරි කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. මෙම ව්‍යාපෘතිය තුළින් මහනුවර නගරය දෙස් විදෙස් සංචාරකයන්ට ආකර්ෂණීය ප්‍රදේශයක් බවට පත් කිරීමටද බලාපොරොත්තු වන අතර රියදුරන්ට සහ පදිකයන්ට වඩාත් සිත් ඇදගන්නා සුලු ප්‍රදේශයක් බවට මහනුවර නගරය හා තදාසන්න ප්‍රදේශය පත් කළ හැකි වනු ඇත.
ලෝක බැංකු ව්‍යාපෘතියක් ආධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාතංශය මගින් ක්‍රියාත්මක කරන අතර මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූලික පර්යේෂණ සහ අධ්‍යයනයන් මොරටුව විශ්වවිද්‍යාලය මගින් සම්බන්ධීකරණය කොට තිබේ.